Skip to content

පටුනට යන්න

දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!

දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!

“ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.”—යොෂු. 24:15.

1-3. (අ) යොෂුවා ගත්ත තීරණය අපිට ආදර්ශයක් වෙන්නේ ඇයි? (ආ) අපිටත් තීරණ ගන්න සිදු වෙනකොට මතක තියාගන්න ඕනෙ මොනවද?

හිතන්න කොහේ හරි තැනකට යන්න ඔබ පාරට බැස්සා කියලා. ටික දුරක් යනකොට පාර දෙපැත්තට බෙදෙනවා. දැන් ඔබ තෝරගන්නේ මොන පාරද? යන්න ඕනෙ තැන හරියටම දන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම තෝරගන්නේ ඒ තැනට වැටෙන පාරයි කියලා කිසිම සැකයක් නැහැ.

2 අපේ ජීවිත ගමනේදිත් ඒ වගේ මංසන්ධි හමු වෙනවා. එහෙම අවස්ථාවලදී හරි තීරණ ගන්න එක අපේ වගකීමක්. යොෂුවා හා කායින් කියන්නේ ඒ වගේ මංසන්ධිකට ආපු දෙන්නෙක්. යොෂුවාට සිද්ධ වුණා සැබෑ දෙවිට නමස්කාර කරනවද නැත්නම් බොරු දෙවිවරුන්ට නමස්කාර කරනවද කියලා තීරණයක් ගන්න. (යොෂු. 24:15) ඔහුට ඕනෙ වුණේ දෙවි එක්ක තිබුණු බැඳීම තවත් ශක්තිමත් කරගන්න නිසා ඔහු තෝරගත්තේ දෙවිට ළං වෙන්න පුළුවන් මාර්ගයේ යන්නයි. කායින් වැඩ කළේ ඊට වඩා වෙනස් විදිහට. ඔහුට සිදු වුණා කෝපයෙන් වැඩ කරනවද නැත්නම් කෝපය පාලනය කරගන්නවද කියලා තීරණයක් ගන්න. (උත්. 4:6, 7) ඔහුට දෙවි එක්ක බැඳීමක් ඇති කරගන්න උවමනාවක් තිබුණේ නැති නිසා ඔහු ගත්ත තීරණයෙන් ඔහු තව තවත් දෙවිගෙන් ඈත් වුණා.

3 ජීවිතේ අපිටත් තීරණ ගන්න සිදු වෙන වෙලාවලදී අපේ අරමුණ වෙන්න ඕනෙ දෙවිට කිට්ටු වෙලා ඔහුට ප්‍රශංසාවක් ලැබෙන විදිහට වැඩ කරන්න. (හෙබ්‍රෙව් 3:12 කියවන්න.) මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් අපි කාරණා හතක් ගැන බලන්න යනවා. ඒ කාරණාවලදී ගන්න තීරණ අනුව දෙවිට අපි තවත් ළං වෙයිද නැත්නම් තව තවත් ඈත් වෙයිද කියලා හිතලා බලමු.

රැකියාව

4. රැකියාවක් අත්‍යවශ්‍ය ඇයි?

4 ක්‍රිස්තියානීන් හැටියට පවුලේ අයව රැකබලා ගන්න අපි බැඳිලා ඉන්නවා. කෙනෙක් පවුලේ අයට අවශ්‍ය දේවල් සපයන්න කැමති නැත්නම් ඔහු දෙවිට සේවය නොකරන කෙනෙකුටත් වඩා නරකයි කියලා බයිබලේ කියනවා. (2 තෙස. 3:10; 1 තිමෝ. 5:8) ඒ නිසා රැකියාවක් කරන එක අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක්. ඒත් ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඒ රැකියාවට පුළුවන් ඔබව දෙවිගෙන් ඈත් කරන්න.

5. රැකියාවක් තෝරගන්න ඉස්සෙල්ලා බලන්න ඕනෙ පැති මොනවද?

5 ඔබ ජීවත් වෙන්නේ රැකියාවක් හොයාගන්න අමාරු රටක නම් ලැබෙන ඕනෙම රැකියාවක් කරන්න ඔබට හිතෙයි. ඒත් ඒ රැකියාව නිසා ඔබට බයිබල් ප්‍රතිපත්ති කඩ කරන්න වෙයිද? නැත්නම් ඒ රැකියාව නමස්කාර කටයුතු අතපසු කරන්න වෙන, ඔබේ පවුලේ අයගෙන් ඔබව දුරස් කරන එකක්ද? රැකියාවක් නැතුව ඉන්නවට වඩා එහෙම එකක් හරි ලැබෙන එක හොඳයි කියලා ඔබට හිතෙනවද? ඒ වගේ වෙලාවකදී හරි තීරණය ගත්තේ නැත්නම් අපි දෙවිගෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. (හෙබ්‍රෙ. 2:1) ඔබ රැකියාවක් හොයන කෙනෙක් වුණත්, කරන රැකියාව වෙනස් කරන්න ඕනෙ කියලා හිතන කෙනෙක් වුණත් ඒ ගැන හරි තීරණයක් ගන්නේ කොහොමද?

6, 7. (අ) රැකියාවක් තෝරගද්දී කෙනෙක් හිතන්න ඕනෙ පැති දෙක මොකක්ද? (ආ) යෙහෝවා දෙවිට ළං වෙන්න පුළුවන් මොන අරමුණෙන් රැකියාවක් කළොත්ද? ඒ ඇයි?

6 පොඩ්ඩක් මේ ගැන හිතන්න. ඔබට ඇත්තටම රැකියාවක් ඕනෙ කරන්නේ ඇයි? ඔබට රැකියාවක් ඕනෙ පවුලේ අයගේ මූලික අවශ්‍යතා ලබා දෙමින් ඔවුන් එක්ක දිගටම දෙවිට සේවය කරන්න නම් දෙවි ඔබට උදව් කරයි. (මතෙ. 6:33) ඔබට හදිසියේ රැකියාව අහිමි වෙයි කියලා හරි, ආර්ථිකය කඩා වැටෙයි කියලා හරි හිතලා භය වෙන්න එපා. දෙවි අනිවාර්යයෙන්ම ඔබට උදව් කරනවා. (යෙසා. 59:1) “දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද” කියලා දෙවි දන්නවා.—2 පේතෘ. 2:9.

7 හැබැයි ඔබට රැකියාවක් ඕනෙ කරන්නේ පොහොසත් වෙන්න තියෙන ආසාව නිසා කියලා හිතමු. සමහරවිට ඔබ පොහොසත් වෙයි. ඒත් ඒ අරමුණෙන් විතරක් රැකියාවක් කරන එක හරිම භයානකයි. (1 තිමෝති 6:9, 10 කියවන්න.) ඔබේ ජීවිතයේ වැදගත්ම දේ රැකියාව නම් ඔබ ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙයි.

8, 9. තමන්ගේ රැකියාව දරුවන්ට බලපාන විදිහ ගැන දෙමව්පියන් හිතන්න ඕනෙ මොනවද? පැහැදිලි කරන්න.

8 ඔබට දරුවන් ඉන්නවද? එහෙමනම් ඔවුන් ඔබ දිහා බලාගෙන ඉන්නවා කියලා අමතක කරන්න එපා. ‘අපේ අම්මටයි තාත්තටයි වැඩියෙන්ම වටින්නේ එයාලගේ තත්වයයි රස්සාවයි විතරයි’ කියලා ඔවුන් කියනවටද ඔබ කැමති, නැත්නම් ‘ඒ දෙන්නා වැඩියෙන්ම ආස දෙවිට සේවය කරන්න’ කියලා කියනවටද ඔබ කැමති? දරුවන් ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී ඔවුන් වැඩ කරන්නෙත් ඔබව ආදර්ශයට අරගෙනයි කියලා මතක තියාගන්න. ඔවුන් ඔබට ගෞරව කරනවද නැද්ද කියන එක රඳා පවතින්නේ ඔබ ගන්න තීරණ මතයි. එක සහෝදරියක් මෙහෙම කියනවා. “මතක තියෙන කාලෙක ඉඳන් තාත්තා හිතුවේ රස්සාව ගැන විතරයි. අපේ පවුලේ අයට හොඳ දේවල් දෙන්න ඕනෙ නිසයි තාත්තා මෙච්චර මහන්සි වෙන්නේ කියලා අපි හිතුවත් ඒක වැරදියි. තාත්තට ඕනෙ වුණේ හොඳම බඩු ගන්න. ඒ නිසා අපේ පවුල පොහොසත් පවුලක් කියලා පෙනුණා තමයි. ඒත් දෙවිට සේවය කරන පවුලක් කියලා නම් කවුරුත් දැක්කේ නැහැ. අපේ පවුල, දෙවිට කිට්ටු බැඳීමක් තියෙන පවුලක් කරන්න තාත්තා මහන්සි වුණා නම් මේ සල්ලිවලට වඩා ඒක කොච්චර වටිනවද කියලා මට හිතුණු වාර අනන්තයි.”

9 දෙමව්පියෙනි, ඔබව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්න ඔබේ රැකියාවට ඉඩ දෙන්න එපා. ‘මං නං කවදා හරි තාත්තා වගේ දෙවිට සේවය කරනවා’ කියලා ඔබේ දරුවා ඔබ ගැන ආඩම්බරෙන් කියයිද? එහෙම කියන්න නම් ඔබත් මුදල්වලට වඩා දෙවි එක්ක තියෙන බැඳීම ගොඩක් වටිනවා කියලා ඔබේ ජීවිතයෙන් දරුවන්ට පෙන්වන්න.—මතෙ. 5:3.

10. රැකියාවක් තෝරගන්න කලින් යෞවනයෙක් හිතන්න ඕනෙ මොනවද?

10 ඔබ පාසැල් යන යෞවනයෙක්ද? එහෙමනම් අනාගතයේදී කරන රැකියාව ගැන ඔබ හිතනවා ඇති. එහෙම නැත්නම් යම් රැකියාවක් කිරීමේ අරමුණෙන් ඒ සඳහා පුහුණු වෙනවා ඇති. එහෙමනම් ‘ඒ රැකියාව යෙහෝවා දෙවිට කරන සේවයට මුල් තැන දෙන්න මට උදව් කරයිද නැද්ද’ කියලා ටිකක් හිතන්න. (2 තිමෝ. 4:10) ඔබටත් ඕනෙ මුදල් තිබුණොත් විතරක් සතුටු වෙන මිනිස්සු වගේ වෙන්නද? නැත්නම් දාවිත් වගේ දෙවිව විශ්වාස කරලා වැඩ කරන්නද? දාවිත් කිව්වේ මෙහෙමයි. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.” (ගීතා. 37:25) ඔබ ඉදිරියෙත් පාරවල් දෙකක් තියෙනවා කියලා අමතක කරන්න එපා. එක පාරක් ඔබව දෙවිගෙන් තව තවත් ඈතට ගෙන යයි. අනිත් පාර, ලබන්න පුළුවන් හොඳම ජීවිතයක් ඔබට ලබා දෙයි. (හිතෝපදේශ 10:22; මලාකි 3:10 කියවන්න.) ඔබ තෝරගන්නේ මොන පාරද? *

විනෝදාංශ

11. විනෝද වීම ගැන බයිබලයේ කියන්නේ මොනවද? අපි මතක තියාගන්න ඕනෙ මොනවද?

11 විනෝදයත් ජීවිතයට අවශ්‍ය දෙයක්. විනෝදය වැරදියි කියලවත් ඒක කාලේ නාස්ති කරන දෙයක් කියලවත් බයිබලයේ කියන්නේ නැහැ. ඒ වගේ දේවලින් ප්‍රයෝජනයක් තියෙනවා කියලා පාවුල් කිව්වා. (1 තිමෝ. 4:8) ඒ වගේම “සිනාසෙන්න කාලයක්” තියෙනවා කියලත්, “නටන්න කාලයක්” තියෙනවා කියලත්, ප්‍රමාණවත් විවේකයක් ගැනීම අවශ්‍යයි කියලත් බයිබලේ පෙන්වනවා. (දේශ. 3:4; 4:6) ඒත් අපි පරෙස්සම් නොවුණොත් විනෝදාංශවලට පුළුවන් අපිව දෙවිගෙන් ඈත් කරන්න. ඒ නිසා අපි තෝරගන්නේ මොන වගේ විනෝදාංශද, ඒ සඳහා කොයි තරම් කාලයක් වැය කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ.

විනෝදාංශවලින් ප්‍රයෝජන ලැබෙන්නේ තෝරගන්න විනෝදාංශය හා ඒ සඳහා වැය කරන කාලය අනුවයි

12. විනෝදාංශයක් තෝරගද්දී ඔබ සිතන්න ඕනෙ මොනවද?

12 අපි මොන වගේ විනෝදාංශද තෝරගන්න ඕනෙ කියලා මුලින්ම බලමු. අද ලෝකයේ බලන බලන තැන තියෙන්නේ දෙවි කැමති නැති විනෝදාංශ. ඒවා අතර සැහැසියාව, මායාව, අනාචාරය මුල් තැනක් ගන්නවා. ඒ නිසා අපි පරෙස්සම් වෙන්න ඕනෙ. හිතන්න හොඳ ප්‍රශ්න ටිකක් බලමුද! මං කරන විනෝදාංශ නිසා මං දරුණු විදිහට හැසිරෙයිද? මගේ රට ජාතිය ගැන ආඩම්බරයක් ඇති වෙයිද? මං හැම තිස්සෙම දිනන්න ඕනෙ කියන හැඟීම ඇති වෙයිද? (හිතෝ. 3:31) මගේ විනෝදාංශ ගැන අනිත් අය දැනගත්තොත් මං ගැන වැරදියට හිතයිද? ඒවාට ලොකු මුදලක් වැය වෙනවද? මම විනෝද වෙන්නේ මොන වගේ අය එක්කද? (හිතෝ. 13:20) මගේ විනෝදාංශ නිසා මගේ අතින් වැරදි දෙයක් වෙයිද?—යාකො. 1:14, 15.

13, 14. විනෝදාංශවලට වැය කරන කාලය ගැන අපි හිතන්න ඕනෙ පැති මොනවද?

13 විනෝදයට මං කොයි තරම් කාලයක් වැය කරනවද කියලත් කල්පනා කරලා බලන්න. නමස්කාර කටයුතුවල යෙදෙන්න බැරි තරමට මම විනෝදාංශවල ඇලීගැලී ඉන්නවද? ඕනෑවට වඩා වැඩි කාලයක් ඒවායේ ඇලීගැලී හිටියොත් ඒකෙන් ලැබෙන සතුටත් නැතුව යයි. ඒත් පාලනයක් ඇතුව විනෝදාංශවල යෙදෙන අය ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒකට හේතුව ජීවිතයේ වඩා වැදගත් දේවලට මුල් තැන දෙන නිසා හිතේ නිදහසෙන් විනෝද වෙන්න ඒ අයට පුළුවන් වීමයි.—ෆිලිප්පි 1:10, 11 කියවන්න.

14 විනෝදාංශවලට වැඩි කාලයක් වැය කිරීමෙන් සතුටක් ලැබෙනවා කියලා පේන්න තිබුණත් ඔබව දෙවිගෙන් ඈත් කරන්න එයට පුළුවන් කියන එක මතක තියාගන්න. කිම් කියන අවුරුදු 20ක් වයසැති සහෝදරිය මෙහෙම කියනවා. “හැම සති අන්තයකම වගේ මම පාටිවලට ගියා. ඒත් ඊට වඩා වැදගත් දේවල් තියෙනවා කියලා මට දැන් තේරෙනවා. මම දැන් පුරෝගාමි සේවය කරන නිසා සේවේ යන්න උදේ හයට නැඟිටින්න ඕනෙ. ඒ නිසා දැන් මට කලින් වගේ පාන්දර එක දෙක වෙනකල් පාටිවල ඉන්න බැහැ. පාටිවලට යන එකේ වරදක් නැහැ. ඒත් ඕනෑවට වඩා ඒවාට කාලය වැය කරන එක දෙවිට කරන සේවයට ලොකු බාධාවක් කියලා මම තේරුම්ගත්තා.”

15. ගැළපෙන විනෝදාංශයක් තෝරගන්න දරුවන්ට උදව් කරන්නේ කොහොමද?

15 දරුවන්ගේ අවශ්‍යතාවන් සපයන එකත්, දෙවි එක්ක තියෙන ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කරන එකත්, ඔවුන්ට ආදරය කරන එකත් දෙමව්පියන්ගේ වගකීමක්. ඒ වගේම පවුලේ අයගේ සතුට ගැනත් ඔබ හිතන්න ඕනෙ. සමහර විනෝදාංශ නරකයි තමයි. ඒ නිසා හැම විනෝදාංශයක්ම නරකයි කියලා හිතන්න එපා. (1 කොරි. 5:6) පවුලේ අයට ගැළපෙන විනෝදාංශ මොනවද කියලා පරෙස්සමින් තෝරගත්තොත් පවුලක් හැටියට එකතු වෙලා සතුටු වෙන්න ඒකෙන් අවස්ථාව ලැබෙනවා. * ඒ විදිහට හොඳට හිතලා බලලා වැඩ කළොත් දෙවිගෙන් ඈත් නොවී තවත් දෙවිට කිට්ටු වෙන්න මුළු පවුලටම පුළුවන් වෙයි.

පවුල් බැඳීම්

16, 17. බොහෝ දෙමව්පියන්ට දුකක් ඇති වෙන්නේ මොන හේතුව නිසාද? ඔවුන්ගේ දුක යෙහෝවා දෙවිට තේරෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

16 දෙමව්පියන්ට තමන්ගේ දරුවන් එක්ක තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මොන තරම් ආදරය කරනවද කියලා තේරුම් කරන්න පාවිච්චි කළෙත් මවක් සහ දරුවෙක් අතර තියෙන බැඳීමයි. (යෙසා. 49:15) පවුලේ අයත් එක්ක එකට බැඳිලා දෙවිට නමස්කාර කරමින් හිටිය දරුවෙක් එක පාරටම දෙවිව අත්හැරලා ගියා කියලා හිතන්න. ඒ අම්මටයි තාත්තටයි කොච්චර ලොකු දුකක් දැනෙයිද? තමන්ගේ දුවව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාට පස්සේ එක සහෝදරියක් මෙහෙම කියනවා. “මට දැනුණේ දරාගන්න බැරි දුකක්. ‘ඇයි මගේ දුව යෙහෝවා දෙවිව අත්හැරියේ, එයා වෙනුවෙන් කරන්න ඕනෙ දේවල් මම කළේ නැද්ද’ කියලා මගේ හිත හැම තිස්සෙම මට වධ දුන්නා.”

17 ඔබ ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් යෙහෝවා දෙවිට ඔබේ දුක තේරෙනවා කියලා මතක තියාගන්න. ඒ දුක ඔබ වගේම යෙහෝවා දෙවිත් වින්දා කියලා ඔබ දන්නවද? ඒ තමන් හදපු මුල්ම මිනිසා දෙවිව අතහැරිය වෙලාවේ. ඒකෙන් දෙවිගේ ‘සිතට මහත් වේදනාවක් දැනුණා.’ ඒ වගේම නෝවාගේ කාලයේ හිටපු මිනිස්සු නෝවාට සවන් නොදුන්න එක ගැනත් දෙවිට කොයි තරම් දුකක් දැනෙන්න ඇද්ද! (උත්. 6:5, 6) ඔබට දැනෙන දුක හැමෝටම තේරෙන්නේ නැතුව ඇති. ඒත් දෙවිගෙන් ඔබව ඈත් කරන්න සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු දරුවාට ඉඩ දෙන්න එපා. ඒ වගේ වෙලාවක දුක දරාගන්න ඔබට කරන්න පුළුවන් මොනවද?

18. දරුවෙක් යෙහෝවා දෙවිව අතහැරියොත් දෙමව්පියන් තමන්ටම දොස් කියාගන්න එක සුදුසු නැත්තේ ඇයි?

18 සිද්ධ වෙච්ච දේට ඔබ වග කිව යුතුයි කියලා හිතලා ඔබටම දොස් කියාගන්න එපා. දෙවිට කැප වුණාට පස්සේ අපි එක් එක් කෙනා “තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.” (ගලා. 6:5) කෙනෙක් වරදක් කළොත් ඒකට වග කියන්න ඕනෙ ඒ පුද්ගලයා මිසක් ඔබ නෙවෙයි. (එස. 18:20) ඒ වගේම අනිත් අය ඒකට වග කිව යුතුයි කියලා හිතන්නත් එපා. ඒ වෙනුවට යෙහෝවා දෙවි දේවල් හසුරුවන විදිහට ගරු කරන්න. ඔබේ සතුරා සාතන් මිසක් සභාව ආරක්ෂා කිරීමට ඉන්න වැඩිමහල්ලන් කියලා හිතන්න එපා. ඔබව දෙවිගෙන් ඈත් කරන්න මේ වගේ අවස්ථාවකට කොහොමටවත් ඉඩ දෙන්න එපා.—1 පේතෘ. 5:8, 9.

දරුවා නැවත දෙවිට සේවය කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එක වැරදි නැහැ

19, 20. (අ) දුක දරාගන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද? (ආ) ඒ වගේ දෙමව්පියන්ට තියාගන්න පුළුවන් බලාපොරොත්තුව මොකක්ද?

19 දරුවාට වුණු දේ නිසා ඔබට දෙවි එක්ක අමනාපයක් ඇති වුණොත් ඔබ ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙයි. ඒ වගේ දේකට ඉඩ දෙන්න එපා. ඔබේ දරුවාට ඔබ පණ වගේ ආදරේ ඇති. ඒත් ඊටත් වඩා ඔබ යෙහෝවා දෙවිට ආදරෙයි කියලා පෙන්වන්න. දෙවි එක්ක තියෙන බැඳීම තව තවත් වැඩි කරගන්න වැඩ කළොත් දුක දරාගන්න ඒක ඔබට උදව් වෙයි. සහෝදර සහෝදරියන් එක්ක නිතරම ආශ්‍රය කරන්න. (හිතෝ. 18:1) ඔබට දැනෙන දේ ගැන නොසඟවා දෙවිට කියන්න. (ගීතා. 62:7, 8) සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු පවුලේ සාමාජිකයා එක්ක ආශ්‍රය කරන්න බොරු හේතු හොයන්න එපා. කිසිම විදිහකින් අඩුම තරමින් ඊ-මේල් පණිවිඩවලින් හෝ ලියුම්වලින්වත් ඒ පුද්ගලයා එක්ක සම්බන්ධයක් තියාගන්න එපා. (1 කොරි. 5:11) දෙවිට තවත් වැඩියෙන් සේවය කරන්න. (1 කොරි. 15:58) කලින් සඳහන් කළ සහෝදරිය මෙහෙම කියනවා. “මම දෙවිට කරන සේවය තවත් වැඩි කරලා දෙවිත් එක්ක තියෙන මගේ බැඳීම ශක්තිමත් කරගන්න ඕනෙ. එහෙම කළොත් මගේ දුව ආපහු දෙවිට සේවය කරන්න ආපු දවසට එයාට උදව් කරන්න පුළුවන් තත්වයක මම ඉඳියි.”

20 ප්‍රේමය “සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි.” (1 කොරි. 13:4, 7) ඒ නිසා ඔබේ දරුවා කවදා හරි දවසක නැවත දෙවිට සේවය කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එක වැරදි දෙයක් නෙවෙයි. හැම අවුරුද්දකම සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු හුඟක් අය පසුතැවිලි වෙලා දෙවිට සේවය කරන්න නැවත සභාවට එකතු වෙනවා. දෙවි “සමාව දීමට කැමති” කෙනෙක් නිසා ඒ අයත් එක්ක දෙවි හැමදාමත් අමනාපයෙන් ඉන්නේ නැහැ.—ගීතා. 86:5.

හරි තීරණ ගන්න

21, 22. ඔබ ගන්න කැමති මොන වගේ තීරණද?

21 තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය දෙවි මිනිසුන්ට දීලා තියෙනවා. (ද්විතීය කතාව 30:19, 20 කියවන්න.) ඒ නිසා හරි තීරණ ගන්න එක අපේ වගකීමක්. ‘මම ගන්න තීරණවලින් මම ඉන්නේ හරි පාරේ කියලා පේනවද? යෙහෝවා දෙවිගෙන් මාව ඈත් කරන්න මගේ රැකියාවට, විනෝදාංශවලට, පවුල් බැඳීම්වලට මම ඉඩ දෙනවද?’ අපි ටිකක් ඒ ගැන බැරෑරුම්ව හිතමු.

22 දෙවි තමන්ගේ සෙනඟට ආදරය කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ. අපි වැරදි තීරණයක් ගත්තොත් හැරෙන්න, අපිව දෙවිගෙන් ඈත් කරන්න කිසිම දේකට බැහැ. (රෝම 8:38, 39) ඒ නිසා ඔබව දෙවිගෙන් ඈත් කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා. තීරණ ගද්දී පරෙස්සම් වෙන්න ඕනෙ තවත් පැති හතරක් ගැන ඊළඟ ලිපියෙන් බලමු.

^ 10 ඡේ. රැකියාවක් තෝරගැනීම සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොතේ 38වන පරිච්ඡේදය බලන්න.