Skip to content

පටුනට යන්න

පාඩම් රැසක් කියා දෙන යාච්ඤාවක්

පාඩම් රැසක් කියා දෙන යාච්ඤාවක්

“ඔබගේ ශ්‍රේෂ්ඨ නාමයට ප්‍රශංසාව ලැබේවා!”—නෙහෙ. 9:5.

1. අපි මේ ලිපියෙන් සලකා බලන්නේ කුමන එක්රැස්වීම ගැනද? අපි සිතා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

“සියලුදෙනා නැඟිට ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කරන්න. සදාකාලයටම ඔහුට ප්‍රශංසා කරන්න.” ලෙවීවරුන් පිරිසක් ඔවුන් ඉදිරියේ රැස් වී සිටින දෙවිගේ සෙනඟට ඒ හෘදයාංගම ආරාධනාව කළේ යෙහෝවා දෙවිට යාච්ඤාවක් කරන්න තමන් හා එක් වන්න කියායි. ඔවුන් කළ ඒ යාච්ඤාව බයිබලයේ සඳහන් දීර්ඝතම යාච්ඤාවලින් එකක්. (නෙහෙ. 9:4, 5) ක්‍රි.පූ. 455වෙනි අවුරුද්දේ තිෂ්රී මාසයේ 24වෙනිදා දෙවිගේ සෙනඟ යෙරුසලමට රැස් වූ ඒ අවස්ථාව ගැනත් ඒ වන තුරු සිද්ධීන් පෙළගැසුණේ කෙසේද කියාත් දැන් බලමු. ඒ ගැන සලකා බලන අතරේ මේ එක්රැස්වීම සාර්ථක වුණේ ලෙවීවරුන් නිතිපතා කළ කුමන දේ නිසාද කියාත් ඔවුන් කළ යාච්ඤාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියාත් හොඳින් සිතා බලන්න.—ගීතා. 141:2.

සුවිශේෂී මාසයක්

2. එදා සිටි යුදෙව්වන් අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කෙසේද?

2 යෙරුසලමේ පවුර නැවත ගොඩනැඟීමට යුදෙව්වන්ට ගත වුණේ දින 52ක් පමණයි. (නෙහෙ. 6:15) ඒ විශාල කාර්යය නිම කර දින කිහිපයකින් උදා වූ තිෂ්රී මාසයේ පළවෙනිදා යුදෙව්වන් යෙරුසලමේ ප්‍රධාන මංසන්ධියට රැස් වුණේ එස්රා සහ ලෙවීවරුන් දෙවිගේ වචනය පැහැදිලි කර දෙද්දී එයට සවන් දෙන්නයි. හිමිදිරි උදෑසනම එතැනට රැස් වූ කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සෑම කෙනෙක්ම ඉර මුදුන් වන තුරුම එයට සවන් දුන්නේ පුදුම උනන්දුවකින්. අද ඉන්න අපිට ඔවුන් තැබුවේ මොන තරම් වටිනා ආදර්ශයක්ද! නමස්කාර මධ්‍යස්ථානයක සුව පහසුව අසුන්ගෙන රැස්වීම්වලට හවුල් වන විට අපි ඒවාට හොඳින් සවන් දෙනවාද? නැත්නම් වෙනත් දේවල් ගැන සිතසිතා ඉන්නවාද? එදා යුදෙව්වන් හොඳින් සවන් දුන්නා. අසා සිටි දේවල් ගැන හොඳින් සිතා බැලුවා. තමන් දෙවිගේ නීතිවලට අකීකරු වුණා නේද කියා තේරුම්ගද්දී ඇති වූ දුකට ඔවුන් හඬා වැලපුණා.—නෙහෙ. 8:1-9.

3. යුදෙව්වන් කීකරු වුණේ කුමන දේටද?

3 සිතට දුකක් දැනුණත් තමන් කළ වැරදි ගැන සිතසිතා  පසුතැවිලි වන්න එය වෙලාව නෙවෙයි. එය උත්සව දවසක්. හැමෝම සතුටු වෙනවා දකින්නයි යෙහෝවා දෙවි කැමති වුණේ. (ගණන්. 29:1) ඒ නිසා නෙහෙමියා ඔවුන්ට මෙසේ පැවසුවා. “ගොස් රසවත් කෑම කා මිහිරි පාන බොන්න. කෑම බීම සූදානම් කර නොගත් අයටත් ආහාර පංගුවක් යවන්න. මන්ද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඒ නිසා දැන් දුක් වෙන්න එපා. මන්ද යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක් මෙන් වෙයි.” හැමෝම ඒ වචනවලට කීකරු වුණා. එය සතුට පිරී ඉතිරී ගිය දවසක්.—නෙහෙ. 8:10-12.

4. පවුල්වල ප්‍රධානීන් කළේ මොකක්ද? ඔවුන් වටහාගත්තේ කුමක්ද?

4 පසුවදා සියලුම පවුල්වල ප්‍රධානීන් රැස් වී දෙවිගේ නීතියේ සඳහන් සෑම දේකටම තමන් ඇතුළු මුළු සෙනඟ කීකරු වෙනවාද කියා සොයා බැලුවා. නීතිය ගැන හොඳින් අධ්‍යයනය කරන විට ඒ මාසයේ 15වෙනිදා සිට 22වෙනිදා දක්වා පැල් උත්සවය පැවැත්විය යුතුයි කියාත් ඉන්පසුව විශේෂ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි කියාත් ඔවුන්ට වැටහුණා. ඒ අනුව සෙනඟ ඒ සඳහා සූදානම් වෙන්න පටන්ගත්තා. යොෂුවාගේ කාලයෙන් පසුව පැවැත්වූ සාර්ථකම පැල් උත්සවය එයයි. උත්සවය පැවැත්වූ සෑම දවසකම ලෙවීවරුන් නීතිය හැමෝටම ඇසෙන්න කියෙව්වා. ඒ කාලය පුරා සෙනඟ “මහත් සේ ප්‍රීති” වුණා.—නෙහෙ. 8:13-18.

හදවතින්ම දුක් වූ දවසක්

5. ලෙවීවරුන් යාච්ඤා කරන්න කලින් සෙනඟ කළේ මොනවාද?

5 පැල් උත්සවය නිම වී දින දෙකකට පසුව තිෂ්රී මාසයේ 24වෙනි දිනය උදා වුණා. සතුටු වුණ කාලය නිම වී අතීතයේදී කළ වැරදිවලට පසුතැවෙන්න දැන් කාලය ඇවිත්. නිරාහාරව සිටිමින් ගෝණි රෙදි ඇඳගෙන ඔවුන් පෙන්නුවේ දෙවිගේ නීතියට අකීකරු වීම ගැන ඔවුන් මොන තරම් කනගාටු වෙනවාද කියායි. එදත් උදෑසන පැය තුනක් පුරා ලෙවීවරුන් දෙවිගේ නීතිය සෙනඟට ඇසෙන්න කියෙව්වා. හවස් වරුවේ සෙනඟ ‘තම වැරදි පිළිගනිමින් යෙහෝවා දෙවි ඉදිරියේ නමස්කාර කළා.’ දෙවිට යාච්ඤාවක් කරන්න තමන් හා එක් වන්න කියා ලෙවීවරුන් සෙනඟට ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදීයි. —නෙහෙ. 9:1-4.

6. අර්ථවත් යාච්ඤාවක් කරන්න ලෙවීවරුන්ට උදව් වුණේ කුමක්ද? ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?

6 යාච්ඤාව ආරම්භ වන්නේ යෙහෝවා දෙවිගේ පුදුමාකාර ක්‍රියා සහ ඔහුගේ ගතිලක්ෂණ ගැන කරන හෘදයාංගම අගය කිරීමකින්. ඉන්පසුව සෙනඟ කළ පාප ගැනත් දෙවිගේ “අතිමහත් දයාව” ලබන්න සෙනඟ වටින්නේ නැත්තේ ඇයි කියාත් ඔවුන් සඳහන් කළා. (නෙහෙ. 9:19, 27, 28, 31) එවැනි අර්ථවත් යාච්ඤාවක් කරන්න ලෙවීවරුන්ට හැකි වුණේ ඔවුන් නිතිපතා දෙවිගේ නීතිය කියෙවූ නිසයි. අපිත් දිනපතා දෙවිගේ වචනය කියවා ඒ ගැන හොඳින් සිතා බැලීම අත්‍යවශ්‍යයි. එය හරියට අපිට කතා කරන්න දෙවිට ඉඩ දෙනවා හා සමාන දෙයක්. එවිට අපේ යාච්ඤා අර්ථවත් වෙනවා වගේම යාච්ඤා කරද්දී දෙවිට කියන්න බොහෝ දේවල්ද අපිට තියෙයි.—ගීතා. 1:1, 2.

7. ලෙවීවරුන් දෙවිගෙන් ඉල්ලුවේ කුමක්ද? අපිට ඔවුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 ඒ දීර්ඝ යාච්ඤාවේදී ඔවුන් දෙවිගෙන් ඉල්ලන්නේ  එක ඉල්ලීමක් පමණයි. එයත් ඔවුන් කරන්නේ යාච්ඤාව අවසන් වෙන්න ආසන්නයේදීයි. ඔවුන් දෙවිගෙන් ඉල්ලුවේ මෙයයි. “දෙවියනි, සියලුදෙනාගේ ගරුබිය ලබන්න වටින අපගේ ශ්‍රේෂ්ඨ, බලවත් දෙවි ඔබයි. ඔබ කිසිවිටෙක ගිවිසුම් කඩ නොකරන අතිශයින් ප්‍රේමය පෙන්වන දෙවි කෙනෙක්. ඇසිරියාවේ රජු පාලනය කළ කාලයේ පටන් මේ දක්වා අපේ රජවරුන්ටත් අධිපතීන්ටත් පූජකයන්ටත් අනාගතවක්තෘවරුන්ටත් අපේ මුතුන්මිත්තන්ටත් සියලු සෙනඟටත් මුහුණ දෙන්න සිදු වූ දුෂ්කරතා අමතක කරන්න එපා දෙවියනි.” (නෙහෙ. 9:32) අපිත් යාච්ඤා කරද්දී දෙවිගෙන් යම් දේවල් ඉල්ලන්න කලින් ඔහුට ප්‍රශංසා කිරීමත් ඔහු කළ දේවලට ස්තුති කිරීමත් කොතරම් වැදගත්ද!

දෙවිගේ ශ්‍රේෂ්ඨ නාමයට දුන් ප්‍රශංසාව

8, 9. (අ) ලෙවීවරුන්ගේ නිහතමානිකම පැහැදිලි වෙන්නේ කෙසේද? (ආ) ලෙවීවරුන් සඳහන් කළේ කුමන සේනා දෙක ගැනද?

8 ඒ වගේ අර්ථවත් යාච්ඤාවක් කරන්න ලෙවීවරුන් හොඳින් සූදානමින් සිටියත් ඒ යාච්ඤාවට හවුල් වෙන්න කියා ඔවුන් සෙනඟටත් ආරාධනා කළා. ඔවුන් කිව්වේ “සියලුදෙනා නැඟිට ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කරන්න. සදාකාලයටම ඔහුට ප්‍රශංසා කරන්න” කියායි. (නෙහෙ. 9:5) ඔවුන් සෙනඟගෙන් එවැනි ඉල්ලීමක් කළේ ඇයි? යෙහෝවා දෙවි කොතරම් ප්‍රශංසාවක් ලැබිය යුතුද කියනවා නම් දෙවිට ලැබිය යුතු ඒ ප්‍රශංසාවෙන් තමන්ට දිය හැක්කේ අංශු මාත්‍රයක් පමණයි කියා ලෙවීවරුන් නිහතමානීව තේරුම්ගත්තා. ඒ නිසයි ඔවුන් සෙනඟට එවැනි ආරාධනාවක් කළේ.

9 ඔවුන්ගේ යාච්ඤාව ආරම්භයේදීම වගේ මේ වචන පෙළ අපිට දකින්න ලැබෙනවා. “යෙහෝවා දෙවියනි, ඔබ පමණක් දෙවිය. ඔබ ස්වර්ගය සහ එහි සියලු සේනාද මුළු මහත් විශ්වයත් එහි සියලු වස්තුද පොළොව සහ එහි තිබෙන සියල්ලද මහ මුහුද සහ එහි ඇති සියල්ලද සාදා තිබෙනවා. ඒ සියල්ල පවතින්නේ ඔබ නිසයි. ස්වර්ගයේ සේනා සැමදා දණ නමන්නේ ඔබටයි.” (නෙහෙ. 9:6) ස්වර්ගයත් එහි “සියලු සේනා” එනම් විශ්වයේ ඇති සියලුම මන්දාකිනි දෙවි නිර්මාණය කළේ ඔහුගේ අතිමහත් බලයෙන්. ඒ වගේම පොළොවත් එහි ඇති සෑම දෙයක්මත් ජීවය පවත්වාගෙන යන්න අවශ්‍ය සියලු දේත් ඔහු සකස් කළා. “ස්වර්ගයේ සේනා” කීමෙන් ලෙවීවරුන් දෙවි නිර්මාණය කළ තවත් පිරිසකට යොමු දැක්වූවා. ඒ යෙහෝවා දෙවිගේ දේවදූත සේනාවයි. (1 රාජා. 22:19; යෝබ් 38:4, 7) දෙවිගේ කැමැත්ත කරන ඔවුන්, පාපය උරුම කරගත්ත මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නේ ඔවුන්ගේ නිහතමානිකම ගැන කදිමට කියාපාමින්. (හෙබ්‍රෙ. 1:14) දෙවිට සේවය කරන අපිත් හොඳින් පුහුණු වූ එක්සත් සේනාවක් හා සමානයි. ඔවුන්ගේ නිහතමානිකම අපිත් ආදර්ශයට ගනිමු.—1 කොරි. 14:33, 40.

10. දෙවි ආබ්‍රහම් වෙනුවෙන් කළ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 ඊළඟට ආබ්‍රම් වෙනුවෙන් දෙවි කළ දේවල් ගැන ලෙවීවරුන් සඳහන් කරනවා. ආබ්‍රම්ට වයස අවුරුදු 99දී දෙවි ඔහුගේ නම “බොහෝ ජාතීන්ගේ පියා” යන අර්ථය ඇති ආබ්‍රහම් ලෙස වෙනස් කරද්දී ඔහුට එක දරුවෙක්වත් සිටියේ නැහැ. (උත්. 17:1-6, 15, 16) දෙවි ඔහුට දුන් පොරොන්දුව ඉටු කළ ආකාරය ගැන ලෙවීවරුන්  මෙසේ පවසනවා. ‘යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. ඔබ ආබ්‍රම්ව තෝරාගෙන කල්දිවරුන්ගේ දේශයේ පිහිටි ඌර් නුවරින් කැඳවා ඔහුට ආබ්‍රහම් යන නම දුන්නා. ඔහු කීකරු හදවතක් ඇති විශ්වාසවන්ත කෙනෙක් නිසා ඔබ ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. කානානිවරුන් විසූ දේශය ඔහුටත් ඔහුගෙන් පැවතෙන අයටත් දෙන්න ඔබ පොරොන්දු වුණා. ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා ඔබ ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කළා.’ (නෙහෙ. 9:7, 8) මිනිසුන්ට තමන් දුන් පොරොන්දු නිතරම වගේ අමතක වෙනවා. ඒත් අපි දුන් පොරොන්දු ඉටු කිරීමෙන් අපගේ දෙවිව ආදර්ශයට ගනිමු.—මතෙ. 5:37.

දෙවි තම සෙනඟ වෙනුවෙන් කළ පුදුමාකාර ක්‍රියා

11, 12. දෙවිගේ නමේ අර්ථය කුමක්ද? දෙවි තම නමේ අර්ථයට එකඟව ක්‍රියා කරන බව පැහැදිලි වුණේ කෙසේද?

11 යෙහෝවා යන නමේ අර්ථය “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන නැනැත්තා” යන්නයි. ආබ්‍රහම්ගෙන් පැවත එන ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් පොරොන්දු ඉටු කළ ආකාරයෙන් දෙවි තම නමේ අර්ථයට එකඟව ක්‍රියා කරන දෙවි කෙනෙක් බව හොඳින්ම පැහැදිලි වුණා. ඊජිප්තුවේ වහලුන්ව සිටි ඔවුන්ව එයින් මුදවාගෙන සරුසාර දේශයක් උරුම කර දෙන බව දෙවි පොරොන්දු වුණා. එය කළ නොහැකි දෙයක් ලෙස පෙනුණත් තමන් දුන් පොරොන්දුව ඉටු කරන තුරුම දෙවි අවශ්‍ය සෑම දෙයක්ම කළා.

12 ඒ ගැන ලෙවීවරුන් තම යාච්ඤාවේ සඳහන් කළේ මෙසේයි. “දෙවියනි, ඊජිප්තුවේ සිටි අපේ මුතුන්මිත්තන්ට විඳින්න සිදු වූ හිංසා පීඩා ඔබ දුටුවා. රතු මුහුද අසලදී ඔවුන් ඔබට මහත් හඬින් කන්නලව් කළ විට ඔබ ඔවුන්ට සවන් දුන්නා. පාරාවෝ හා ඔහුගේ සියලු සේවකයනුත් ඔහුගේ දේශයේ විසූ මුළු ජනතාවත් ඔබේ සෙනඟට විරුද්ධව ඉතා උද්දච්ච ලෙස ක්‍රියා කළ නිසා, ඔබ ඔවුන්ට විරුද්ධව බොහෝ විපත් ඇති කරමින් බලවත් ක්‍රියා හා ආශ්චර්යයන් සිදු කළා. ඔබ එසේ කර ඔබටම ශ්‍රේෂ්ඨ නාමයක් ඇති කරගත්තා. අද වන තුරුත් ඔබ කළ ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියා කිසිවෙකුට අමතක වී නැහැ. දෙවියනි, ඔබේ සෙනඟ ඉදිරියේම ඔබ මුහුදේ ජලය දෙපසට කර ඒ මැද වියළි බිමක් සෑදුවා. ඔවුන් එම වියළි බිම මැදින් ගමන් කළා. නමුත් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ඔවුන්ගේ සතුරන්ව ඔබ විනාශ කළා. ජල පහරකට විසි කළ ගල් කැටයක් මෙන් ඔවුන් මුහුදු පතුලටම ගිලී ගියා.” ඊළඟට ලෙවීවරුන් මෙසේ පැවසුවා. ‘ඔබ දේශයේ වාසය කළ කානානිවරුන්ව ඔවුන්ට යටත් කර දුන්නා. ඔවුන් බලකොටු සහිත නුවරවල්ද සරුසාර බිම්ද සැප සම්පත්වලින් පිරුණු නිවෙස්ද තනන ලද පොකුණුද මිදිවතුද ඔලීවවතුද පලතුරු උයන්ද අයිති කරගෙන කා බී තෘප්තිමත් ජීවිතයක් ගත කළා. දෙවියනි, ඔබේ ඒ අතිමහත් යහපත්කම නිසා ඔවුන් බොහෝ සෙයින් සතුටු වුණා.’—නෙහෙ. 9:9-11, 24, 25.

13. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට වී ටික දවසකට පසුව දෙවි ලබා දුන්නේ මොනවාද? වැඩි කල් යන්න කලින් ඊශ්‍රායෙල්වරුන් කළේ කුමක්ද?

13 යෙහෝවා දෙවි තම පොරොන්දු ඉටු කිරීම සඳහා තවත් බොහෝ දේවල් කළා. උදාහරණයකට දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීති මාලාවක් දුන්නා. ඒ ගැන ලෙවීවරුන් පැවසුවේ මෙසේයි. “සීනයි කන්ද අසලදී ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ට කතා කර ධර්මිෂ්ඨ වූ තීන්දු, නිවැරදි නීතිරීති සහ යහපත් මඟ පෙන්වීම් ලබා දුන්නා.” (නෙහෙ. 9:13) දෙවි ඊශ්‍රායෙල්වරුන්ව තමන්ගේ සෙනඟ ලෙස තෝරගත්තා. තමන්ගේ නාමය දරන සෙනඟ විදිහට ජීවත් වෙන ආකාරය ගැන ඔවුන්ට ඉගැන්නුවේ ඒ නිසයි. ඒත් වැඩි කල් යන්න කලින් ඔවුන් දෙවිට අකීකරු වුණා.—නෙහෙමියා 9:16-18 කියවන්න.

ඊශ්‍රායෙල්වරුන් ලැබූ හික්මවීම්

14, 15. (අ) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දයාව පෙන්නුවේ කෙසේද? (ආ) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට සැලකූ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 දෙවිගේ නීතියට කීකරු වෙනවා කියා දෙවිට පොරොන්දු වී කෙටි කලකින් ඊශ්‍රායෙල්වරුන් කළ වැරදි දෙකක් ගැන ලෙවීවරුන් සඳහන් කළා. ඒ වැරදි නිසා පාළුකරයේදීම ඔවුන්ව විනාශ කළ යුතු වුණත් දෙවි ඔවුන්ට දයාව පෙන්වා ඔවුන්ව රැකබලා ගත්තා. ඒ ගැන ලෙවීවරුන් පැවසුවේ මෙසේයි. “පාළුකරයේදී අවුරුදු හතළිහක් පුරා ඔබ ඔවුන්ව පෝෂණය කළා. ඔවුන්ගේ වස්ත්‍ර දිරා ගියේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැහැ. ඇත්තටම ඔවුන්ට කිසි  දෙයකින් අඩුවක් තිබුණේ නැහැ.” (නෙහෙ. 9:19, 21) දෙවි අදත් අපිව රැකබලා ගන්නවා. දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න අපිට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. පාළුකරයේදී මිය ගිය දහස් ගණන් ඊශ්‍රායෙල්වරුන් මෙන් දෙවි ගැන තියෙන විශ්වාසය අහිමි කරගෙන දෙවිට අකීකරු වෙන්න අපිට කිසිම වුවමනාවක් නැහැ.—1 කොරි. 10:1-11.

15 පොරොන්දු දේශයට ගියාට පසුවවත් ඊශ්‍රායෙල්වරුන් දෙවිට විශ්වාසවන්තව ජීවත් වුණේ නැහැ. ඔවුන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. එයට අනාචාර ක්‍රියා මෙන්ම තමන්ගේ දරුවන්ව ගින්නෙන් පූජා කිරීමත් ඇතුළත් වුණා. ඔවුන්ව යටත් කරගන්න දෙවි වෙනත් ජාතීන්ට ඉඩහැරියේ ඒ නිසයි. ඒ වුණත් ඊශ්‍රායෙල්වරුන් පසුතැවිලි වූ හැම අවස්ථාවකම දෙවි ඔවුන්ට සමාව දී ඔවුන්ගේ සතුරන්ව පරාජය කරන්න උදව් කළා. (නෙහෙමියා 9:26-28, 31 කියවන්න.) ලෙවීවරුන් ඒ ගැන කියන්නේ මෙසේයි. “ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් ගැන ඉවසමින් ඔබේ බලය යොදා ඔවුන්ට විරුද්ධව සාක්ෂි දුන්නා. ඔබේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ ඔවුන්ට බොහෝ අවවාද ලබා දුන්නා. එහෙත් ඔවුන් ඔබට සවන් දුන්නේ නැහැ. අන්තිමේදී ඔබ අවට දේශවල ජනයා අතට ඔවුන්ව පත් කළා.”—නෙහෙ. 9:30.

16, 17. (අ) ඊශ්‍රායෙල්වරුන් නැවත දෙවිට අකීකරු වූ විට සිදු වුණේ කුමක්ද? (ආ) සෙනඟ පසුතැවිල්ල පෙන්නුවේ කෙසේද? ඔවුන් පොරොන්දු වුණේ මොනවාද?

16 බැබිලෝනියෙන් මිදුණාට පසුවත් ඊශ්‍රායෙල්වරුන් දෙවිට අකීකරු වුණා. ලැබුණ ප්‍රතිඵලය ගැන ලෙවීවරුන් විස්තර කරන්නේ මෙසේයි. ‘දෙවියනි, අද මෙහි රැස්ව සිටින අප දෙස බලන්න. ඔබ අපේ මුතුන්මිත්තන්ට ලබා දුන් බොහෝ සැප සම්පත්වලින් පිරුණු මේ සරුසාර දේශයේ අප ජීවත් වන්නේ දාසයන් ලෙසයි. ඔබ අපේ පව්කාර ක්‍රියා නිසා අපව පාලනය කිරීමට විදේශීය රජවරුන්ට අවසර දී තිබෙනවා. මෙහි සැප සම්පත් හිමි වී තිබෙන්නේ ඔවුන්ටයි. මෙතරම් දුක් ගැහැටවලට මුහුණ දෙන්න අපට සිදු වී තිබෙන්නේ ඒ නිසයි.’ දෙවි ඔවුන්ට උරුම කර දුන් දේශයේම වහලුන් විදිහට ජීවත් වීමට ඔවුන්ට සිදු වීම මොන තරම් කනගාටුදායකද!—නෙහෙ. 9:36, 37.

17 ලෙවීවරුන් මේ කියන්නේ යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට අසාධාරණ විදිහට සලකනවා කියාද? කොහොමටවත් නැහැ. ඔවුන් කියන්නේ මෙසේයි. “ඔබ ධර්මිෂ්ඨයි. ඔබ අපි සමඟ විශ්වාසවන්තව කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි. මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි.” (නෙහෙ. 9:33) ලෙවීවරුන් තම නිරහංකාර යාච්ඤාව අවසන් කරන්නේ යෙහෝවා දෙවිගේ නීතියට කීකරු වෙන බවට වුණ පොරොන්දුවත් සමඟයි. (නෙහෙමියා 9:38 කියවන්න; නෙහෙ. 10:29) පසුව ඒ පොරොන්දුව ලියවිල්ලක සටහන් කර යුදෙව් ප්‍රධානීන් 84දෙනෙකුගේ මුද්‍රාවලින් එය සහතික කළා.—නෙහෙ. 10:1-27.

18, 19. (අ) පාරාදීස පොළොවේ ජීවත් වෙන්න නම් දැන් අපිට අවශ්‍ය කරන්නේ මොනවාද? (ආ) අපි දිගටම යාච්ඤා කරන්න අවශ්‍ය කුමක් ගැනද? ඒ ඇයි?

18 පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ දෙවි බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙන අයට පමණයි. යෙහෝවා දෙවි අපිට හික්මවීම් දෙන්නේ අපිත් ඒ වගේ පුද්ගලයන් වෙනවා දකින්න ඔහු කැමති නිසයි. “පියෙකුගේ හික්මවීම් නොලබන පුතෙක් සිටීද” කියා පාවුල් පවසන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙ. 12:7) දෙවිගේ හික්මවීම් පිළිගෙන දිගටම ඔහුට විශ්වාසවන්තව සිටීමෙන් අපි පෙන්වන්නේ අපිව පුහුණු කරන්න අපි දෙවිට ඉඩ දෙන බවයි. අපි අතින් බරපතළ වරදක් සිදු වුණොත් අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් දෙවිගේ හික්මවීම් කැමැත්තෙන්ම පිළිගන්නවා නම් යෙහෝවා දෙවි අපිටත් සමාව දෙනවා.

19 දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරාගන්න මොන තරම් පුදුම දේවල් කළාද! අපිව බේරාගන්නත් ඊටත් වඩා පුදුම දේවල් ඉතාම ළඟදී සිදු කරනවා. එදාට යෙහෝවා දෙවි මොන තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියා සියලුදෙනා දැනගනීවි. (එස. 38:23) ඒ කාලයේදී දෙවි තමන්ගේ නමට ඇති වී තිබෙන කැළල නැති කරනවා පමණක් නෙවෙයි, දෙවිට විශ්වාසවන්තව ජීවත් වන සෑම කෙනෙකුටම පාරාදීස පොළොවක ප්‍රීතිමත් ජීවිතයක් ලබා දෙන්නත් කටයුතු කරනවා. (2 පේතෘ. 3:13) අපගේ ප්‍රේමණීය දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළල ඉක්මනින්ම ඉවත් වීම අප සැමගේ ප්‍රාර්ථනයයි. ඒ නිසා අපගේ යාච්ඤාවල නිතර නිතර ඒ ගැන සඳහන් කරමු. අපගේ උපරිමයෙන් දෙවිට ප්‍රශංසා කරමු.