Skip to content

පටුනට යන්න

ඔහුට ලැබුණ හොඳම බෙහෙත

ඔහුට ලැබුණ හොඳම බෙහෙත

කෙන්යාවේ පුරෝගාමීන් දෙන්නෙක් දේශනා සේවයේ යද්දී ආබාධිත කෙනෙකුව හමු වුණා. එයාට තිබුණේ හරිම පොඩි ඇඟක්. “කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය” කියන පොරොන්දුව ඒ දෙන්නා එයාට බයිබලයෙන් පෙන්නුවම එයාගේ මුහුණ හිනාවකින් පිරිලා ගියා.—යෙසා. 35:6.

එයාගේ නම ඔනෙස්මස්. එයාට දැන් වයස 40කටත් කිට්ටුයි. ඔනෙස්මස් ඉපදුණ දවසේ ඉඳන් අස්ථි බිඳී යෑමේ රෝගයෙන් පෙළෙනවා. (ඔස්ටියෝජනිසිස් ඉම්පෆෙක්ටා) එයාගේ අස්ථි හුඟක් දුර්වල නිසා පොඩි බරක්වත් දරන්න බැහැ. ඒවා ඉක්මනට පුපුරනවා. ඒ නිසා එයා නිතරම හිටියේ වේදනාවෙන්. ඒ ලෙඩේ හොඳ කරන්න බැරි නිසා ජීවිත කාලයම රෝද පුටුවක ගත කරනවා මිසක් වෙන කිසිම බලාපොරොත්තුවක් එයාට තිබුණේ නැහැ.

ඔනෙස්මස් බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. ඒත් රැස්වීම්වලට යනවට නම් එයාගේ අම්මා කැමති වුණේ නැහැ. රැස්වීම්වලට යද්දී අනතුරක් වුණොත් එයාගේ වේදනාව තවත් වැඩි වෙයි කියලා අම්මා බය වුණා. ඒ නිසා සහෝදරයෝ රැස්වීම් පටිගත කරලා එයාට අහන්න දුන්නා. පාඩම පටන් අරන් මාස පහකට පස්සේ අසනීපේ ගැන හිතහිතා ඉන්නේ නැතුව රැස්වීම්වලට යන්න ඔනෙස්මස් තීරණය කළා.

රැස්වීම්වලට යන්න පටන්ගත්තට පස්සේ එයාගේ වේදනාව වැඩි වුණාද? “හැම තිස්සෙම මම හිටියේ වේදනාවෙන්. ඒත් රැස්වීම වෙලාවෙදී මට මගේ වේදනාව අමතක වුණා” කියලා එයා කියනවා. පුතා දැන් ඉන්නේ වෙනදට වඩා සතුටින් කියලා දැක්කම එයාගේ අම්මත් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. “පුතාට ලැබුණ හොඳම බෙහෙත දෙවිට සේවය කරන්න ලැබුණ අවස්ථාවයි” කියලා අම්මා කිව්වා.

ටික කාලෙකින් ඔනෙස්මස් බව්තීස්ම වුණා. දැන් එයා සහායක සේවකයෙක් හැටියට සේවය කරනවා. යෙහෝවා දෙවිට තව වැඩියෙන් සේවය කරන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා එයාට හිතුණත් සහායක පුරෝගාමි සේවය පටන්ගන්න එයා ටිකක් අදිමදි කළා. එයා හිතුවේ එයාට ඇවිදගන්න බැරි නිසත් වැඩ කරගන්න පුළුවන් එක අතකින් විතරක් නිසත් එයා සහෝදරයන්ට බරක් වෙයි කියලයි. ඒත් ඒ ගැන කිව්වම එයාට උදව් කරන්න සහෝදරයෝ පොරොන්දු වුණා. සහෝදරයන්ගෙන් ලැබුණ උදව් නිසා ඔනෙස්මස්ට පුරෝගාමි සේවය කරන්න පුළුවන් වුණා.

කාලයක් යද්දී ස්ථාවර පුරෝගාමි සේවය කරන්න හිතුවත් එයාට කරන්න පුළුවන් දේවල් සීමිත නිසා ඒක කරන්න පුළුවන් වෙයිද කියලා එයා කල්පනා කළා. දවසක් එයා කියවපු දිනපදයේ “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” කියලා දිරිගන්වලා තිබුණා. (ගීතා. 34:8) ඒ ගැන හොඳට හිතලා බැලුවට පස්සේ ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගන්න ඔනෙස්මස් තීරණය කළා. දැන් එයා සතියට දවස් හතරක් සේවයේ යනවා. එයාට බයිබල් පාඩම් කිහිපයකුත් තියෙනවා. ඒ අය දැන් සත්‍යය තුළ හොඳ දියුණුවක් ලබමින් ඉන්නවා. 2010දී පුරෝගාමි පාසැලට සහභාගි වෙන්න ඔනෙස්මස්ට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඒ පාසැලේ උපදේශකයා හැටියට සේවය කළේ ඔනෙස්මස්ගේ ගෙදරට මුලින්ම ආපු පුරෝගාමි සහෝදරයන්ගෙන් එක් කෙනෙක්. ඒ ගැන එයාට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

එයාව රැකබලා ගන්න දැන් එයාගේ දෙමාපියන් ජීවතුන් අතර නැහැ. හැබැයි සභාවේ සහෝදර සහෝදරියන් ඒ අඩුව හොඳින් පුරවනවා. තමන්ට ලැබිලා තියෙන ඒ හැම ආශීර්වාදයක්ම ඔනෙස්මස් හුඟක් අගය කරනවා. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ” නැති දවස උදා වෙන තෙක් එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා.—යෙසා. 33:24.