Skip to content

පටුනට යන්න

ඔයාගේ මහන්සිය කාටවත් පේන්නේ නැද්ද?

ඔයාගේ මහන්සිය කාටවත් පේන්නේ නැද්ද?

බෙසලෙල්ට සහ ඔහොලියාබ්ට නම් ඉදි කිරීමේ වැඩකටයුතු අලුත් දෙයක් නෙමෙයි. මොකද ඊජිප්තුවේ වහලුන් විදිහට ඉද්දීත් එයාලා ගඩොල් හැදුවා. ඒත් දැන් එයාලට යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමේ ඉදි කිරීමේ කටයුතුවල පෙරමුණ අරගෙන වැඩ කරන්න පවරලා. (නික්. 31:1-11) ඒක පොඩි පහේ වගකීමක් නම් නෙමෙයි. ඒත් එයාලා කරපු අලංකාර නිර්මාණ දැක්කේ ටිකදෙනෙක් විතරයි. ඒ ගැන එයාලා දුක් වුණාද? එයාලා කරපු වැඩ හැමෝම දකින්න ඕනෙ කියලා එයාලා හිතුවද? ඔයා කරන දේවල් අනිත් අය දැක්කේ නැහැ කියලා ඔයා දුක් වෙන්න ඕනෙද?

දැක්කේ ටිකදෙනයි

ශුද්ධ කූඩාරමේ තිබුණ සමහර දේවල් හිතාගන්න බැරි තරම් ලස්සනයි. ගිවිසුම් පෙට්ටිය උඩ තියලා තිබුණු කෙරුබ්වරුන් ගැන ටිකක් හිතන්න. “රත්රන් තළලා” හදපු ඒ රූප දෙක ගැන කතා කරද්දී පාවුල් ඒවා හැඳින්නුවේ “මහත් තේජසකින් යුත්” කෙරුබ්වරුන් කියලයි. (නික්. 37:7-9; හෙබ්‍රෙ. 9:5) එහෙම කියන්න ඒවා කොයි තරම් ලස්සන වෙන්න ඇද්ද?

ඒ නිර්මාණ අද තිබුණා නම් හුඟදෙනෙකුට දැකගන්න ඒවා ලෝකයේ තියෙන ප්‍රසිද්ධ කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරනවාට කිසිම සැකයක් නැහැ. ඒත් ඒවා එදා දැක්කේ කීයෙන් කීදෙනාද? ඒ කෙරුබ්වරුන් දෙන්නාව තියලා තිබුණේ අතිශුද්ධස්ථානයේ. ඒ නිසා ඒවා දැක්කේ උත්තම පූජකයා විතරයි. ඒකත් අවුරුද්දට එක වතාවක්, සමඟි කිරීමේ දවසෙදි. (හෙබ්‍රෙ. 9:6, 7) එහෙම බලද්දී ඒ නිර්මාණ දැක්කේ හරිම ටිකදෙනයි.

කවුරු නොදැක්කත් දකින කෙනෙක් ඉන්නවා

ඔයා බෙසලෙල් හරි ඔහොලියාබ් හරි කියලා හිතන්න. ඒ තරම් මහන්සි වෙලා ඔයා හදපු ඒ නිර්මාණ දකින්නේ එක් කෙනයි දෙන්නයි කියලා දැනගත්තම ඔයාට කොහොම හැඟෙයිද? අද මිනිස්සුන්ට තමන් කරපු දේවල්වල වටිනාකමක් තියෙනවා කියලා දැනෙන්නේ අනිත් අය ඒ ගැන වර්ණනා කළොත් විතරයි. ඒත් යෙහෝවා දෙවිගේ සේවකයන් එහෙම හිතන්නේ නැහැ. බෙසලෙල්ට සහ ඔහොලියාබ්ට වගේ අපිටත් නියම සතුට අද්දකින්න පුළුවන් වෙන්නේ දෙවිගේ කැමැත්ත කරලා ඔහුගේ අනුමැතිය ලැබුණාමයි.

යේසුස්ගේ කාලෙ හිටපු ආගමික නායකයන් යාච්ඤා කළේ අනිත් අයගේ අවධානය ඇදගන්න. මිනිස්සුන්ගේ ප්‍රශංසාව දිනාගන්න එහෙම කරනවා වෙනුවට යේසුස් කිව්වේ අවංක හිතින් යාච්ඤා කරන්න කියලයි. එතකොට “ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන් ඔබට ආශීර්වාද කරයි” කියලත් ඔහු කිව්වා. (මතෙ. 6:5, 6) ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? අපේ යාච්ඤා වටිනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගැන අනිත් අය හිතන්නේ මොකක්ද කියන එක මත නෙමෙයි. ඒ වෙනුවට ඒ ගැන දෙවි හිතන්නේ මොකක්ද කියන එක මතයි. අපේ නමස්කාරයට අයිති අනිත් දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. අපි කරන දේවල්වල වටිනාකම තීරණය වෙන්නේ අනිත් අය අපිට කරන ප්‍රශංසා මත නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවිව සතුටු කිරීම මතයි.

ශුද්ධ කූඩාරමේ වැඩ ඉවර වුණාට පස්සේ ඒක “වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවිගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න ලැබුණා.” (නික්. 40:34) දෙවි ඒ වැඩකටයුතු පිළිගත්තා කියලා කියන්න ඒක ලොකු සාක්ෂියක්. ඒ වෙලාවේ බෙසලෙල්ටයි ඔහොලියාබ්ටයි කොහොම හැඟෙන්න ඇද්ද? හදපු දේවල්වල එයාලගේ නම් කොටලා තිබුණේ නැහැ. ඒත් එයාලා මැරීගෙන කරපු වැඩවලට යෙහෝවා දෙවි ආශීර්වාද කළා කියලා දැක්කම එයාලගේ හිතට කොයි තරම් සතුටක් දැනෙන්න ඇද්ද! (හිතෝ. 10:22) එයාලගේ ජීවිත කාලය පුරාම ශුද්ධ කූඩාරම දෙවිගේ නමස්කාරය වෙනුවෙන් පාවිච්චි කරනවා එයාලා දැක්කා. ඒක අවුරුදු 500ක් විතර පාවිච්චි වුණා කියලා නැවත නැඟිට්ටම එයාලා දැනගනියි. එතකොට එයාලා තව කොච්චර සතුටු වෙයිද!

ඔයා නිහතමානීව සහ කැමැත්තෙන් කරන වැඩ කවුරු නොදැක්කත් යෙහෝවා දෙවි දකිනවා

අදත් යෙහෝවා දෙවිගේ සංවිධානයේ මහන්සි වෙලා සේවය කරන කාටූන් ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, සංගීතඥයන්, පරිවර්තකයන් සහ ලේඛකයන් ඉන්නවා. ඒ එක් කෙනෙක්වත් තමන්ගේ නම් ගම් හෙළි කරන්නේ නැහැ. එහෙම බලද්දී එයාලගේ වැඩ කාටවත් පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ලෝකෙ වටේ 1,10,000කට වඩා තියෙන සභාවල්වල සේවය කරන අය ගැනත් කියන්න තියන්නේ ඒකමයි. ටිකක් හිතන්න. මාසෙ අන්තිමට ගිණුම් සේවක ගිණුම් වාර්තාව හදන එක, ලේකම් සභාවේ ක්ෂේත්‍ර සේවා වාර්තාව සකස් කරන එක හැමෝම දකිනවාද? සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නමස්කාර මධ්‍යස්ථානයේ පුංචි අලුත්වැඩියා කටයුත්තක් කරන්න ඇවිත් ගියා නම් ඒක දකින්නේ කීයෙන් කීදෙනාද?

බෙසලෙල් සහ ඔහොලියාබ් කොච්චර දක්ෂ විදිහට නිර්මාණ කළත් ඒ වෙනුවෙන් කුසලාන, පදක්කම්, ඵලක වගේ කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. ඒත් ලැබෙන්න ඕන වටිනාම දේ එයාලට ලැබුණා. ඒ යෙහෝවා දෙවිගේ අනුමැතිය. ඒ නිසා අපි කරන වැඩ කවුරු නොදැක්කත් දකින කෙනෙක් ඉන්නවා කියලා මතක තියාගමු. බෙසලෙල් සහ ඔහොලියාබ් වගේ කැමැත්තෙන්, නිහතමානීව යෙහෝවා දෙවිට සේවය කරමු.