Skip to content

පටුනට යන්න

අතීතයෙන් බිඳක්

“ඔයාලව නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ දෙන්න එපා!”

“ඔයාලව නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ දෙන්න එපා!”

රටවල් 23කින් ආපු 3,000ක විතර පිරිසක් 1931දී පැරිස් නුවර සුප්‍රසිද්ධ ප්‍රසංග ශාලාවක රැස් වෙලා හිටියේ ප්‍රසංගයක් නරඹන්න නම් නෙමෙයි. ඒ කාලේ දේශනා සේවයේ මූලිකත්වය අරන් වැඩ කරපු සහෝදර ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ගේ දේශනවලට සවන් දෙන්නයි ඔවුන් ඇවිත් හිටියේ. ඔහුගේ දේශන ප්‍රංශ, ජර්මන් සහ පෝලන්ත භාෂාවලටත් පරිවර්තනය කළා.

ඒ සමුළුව, ප්‍රංශයේ දෙවිගේ සෙනඟගේ වැඩකටයුතුවල විශාල වෙනසක් කරපු සමුළුවක්. විවිධ රටවලින් ඇවිත් හිටපු අයගෙන්, විශේෂයෙන්ම තරුණ අයගෙන් සහෝදර රදෆර්ඩ් ඉල්ලා හිටියේ පුරෝගාමීන් විදිහට ප්‍රංශයේ සේවය කරන්න ඉදිරිපත් වෙන්න කියලයි. “පුරෝගාමීන් විදිහට සේවය කරන එකෙන් ඔයාලව නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ දෙන්න එපා” කියලා සහෝදර රදෆර්ඩ් කියපු වචන කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා එදා යෞවන වයසේ හිටපු ජෝන් කුක් කියනවා. *

ජෝන් කුක් විතරක් නෙමෙයි තවත් හුඟක් අය ‘ඇවිත් උපකාර කරන්න’ කියලා එදා කරපු ආරාධනාව පිළිගත්තා. (ක්‍රියා 16:9, 10) 1930දී ප්‍රංශයේ පුරෝගාමීන් හිටියේ 27ක් විතරයි. ඒත් අවුරුද්දක් ඇතුළත ඒ ගණන 104 දක්වා වැඩි වුණා. ඒ අයගෙන් වැඩිදෙනෙක්ට ප්‍රංශ භාෂාව කතා කරන්න බැහැ. ඒ අයට තිබුණේ තව මොන වගේ අභියෝගද? ඒවා ජය ගත්තේ කොහොමද?

භාෂාව

පුරෝගාමි සේවය කරන්න වෙනත් රටවලින් ආපු අයට ප්‍රංශ භාෂාව කතා කරන්න බැරි වුණත් ‘සාක්ෂිපත්’ කියලා හඳුන්වපු බයිබලේ පණිවිඩය ප්‍රංශ භාෂාවෙන් ලියලා තිබුණ කාඩ්පත් ඔවුන් සේවයේ අරන් ගියා. ජර්මන් ජාතික සහෝදරයෙක් මෙහෙම කියනවා. “දෙවිට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා දන්න නිසා අපිට මිනිස්සු ගැන නම් කිසිම බයක් තිබුණේ නැහැ. ඒත් ප්‍රංශ භාෂාවෙන් අපි ඉගෙනගෙන තිබුණු ‘මේ කාඩ් එක කියවලා බලන්න කැමතිද’ කියන වාක්‍යය අමතක වෙයි කියලා නම් අපි හිටියේ බයෙන්. එහෙම වුණා නම් අපිට කරන්න තිබුණු මේ වැදගත් වැඩේ කරගන්න බැරි වෙනවා.”

මුල් කාලයේ පුරෝගාමි සේවය කරපු අය ප්‍රංශය පුරා ශුභාරංචිය ගෙනියන්න බයිසිකල් සහ මෝටර් සයිකල් යොදාගත්තා

පුරෝගාමීන් තට්ටු නිවාස සංකීර්ණවල සේවය කරද්දී ඒවා බලා කියා ගන්න පත් කරලා හිටපු අය හුඟක් වෙලාවට ඔවුන්ව ඒ තැන්වලින් එළවලා දැම්මා. එංගලන්තයෙන් ඇවිත් පුරෝගාමි සේවය කරපු සහෝදරියන් දෙන්නෙක් දවසක් ඒ වගේ තැනක සේවය කරකර ඉද්දී ඒ ස්ථානය බලාගන්න හිටපු කෙනා ඇවිත් “කාව හම්බ වෙන්නද ආවේ” කියලා සැරෙන් ඇහුවා. ආපු කාරණාව කියන්න හදද්දී එක සහෝදරියක් දැක්කා ළඟ තිබුණ දොරක ප්‍රංශ භාෂාවෙන් පොඩි සටහනක් දාලා තියෙනවා. ඒකේ තිබුණේ ‘සීනුව නාද කරන්න’ කියලයි. ඒත් ඒක ඒ ගෙදර කෙනාගේ නම වෙන්න ඇති කියලා හිතපු අපේ සහෝදරිය ඒ පුද්ගලයාට කිව්වා “අපි ආවේ ‘සීනුව නාද කරන්න’ මහත්මියව හම්බ වෙන්න” කියලා. සේවය සතුටින් කරගෙන යන්න ඒ වගේ රසබර අද්දැකීමුත් පුරෝගාමීන්ට උදව් වුණා.

අඩු පහසුකම් සහ තනිකම

1930 ගණන්වල ප්‍රංශයේ වැඩිදෙනෙක් ජීවත් වුණේ හුඟක් අඩු පහසුකම් තිබුණ තැන්වල. වෙනත් රටවලින් ඇවිත් සේවය කරපු පුරෝගාමීන්ටත් ජීවත් වෙන්න වුණේ හුඟක් අමාරුකම් මැද්දේ. මෝනා බසොස්කා කියන සහෝදරිය මෙහෙම කියනවා. “මායි මාත් එක්ක සේවය කරපු සහෝදරියයි නැවතිලා හිටියේ හුඟක් අඩු පහසුකම් තිබුණු තැනක. ලොකුම ප්‍රශ්නේ සීත දවස්වලට කාමරේ උණුසුම් කරන්න හිටර් තිබුණේ නැති එක. සමහර දාට උදේ නැඟිටලා බලනකොට පුරවලා තිබුණු වතුර අයිස් වෙලා. අයිස් කඩලයි මුණ හොදගන්න වුණේ.” පහසුකම් නැහැයි කියලා පුරෝගාමීන් අධෛර්යය වුණාද? කොහොමටවත් නැහැ. ඒ අයගෙන් කෙනෙක් මෙහෙම කියනවා. “අපිටම කියලා කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් අපිට කිසිම දේකින් අඩුවක් තිබුණෙත් නැහැ.”—මතෙ. 6:33.

1931 පැරිස් නුවරේ තිබුණ සමුළුවට සහභාගි වෙන්න එංගලන්තයෙන් ආපු පුරෝගාමීන්

තනිකම පුරෝගාමීන්ට ජය ගන්න තිබුණ තවත් අභියෝගයක්. 1930 දශකයේ මුල් අවුරුදුවල ප්‍රංශයේ ප්‍රචාරකයන් 700කට වඩා හිටියේ නැහැ. ඒ අයත් ප්‍රංශය පුරාම විසිරිලයි හිටියේ. ඒ නිසා පුරෝගාමීන්ට සේවය කරන්න වුණේ ප්‍රචාරකයන් නැති පළාත්වල. ඒ අභියෝගයට මුහුණ දුන්න මෝනා මෙහෙම කියනවා. “මමයි මාත් එක්ක සේවය කරපු සහෝදරියයි නිතරම වගේ එකතු වෙලා අපේ ප්‍රකාශන අධ්‍යයනය කළා. එහෙමයි අපි අපේ තනිකම මකාගත්තේ. ඒ කාලේ නැවත බැලීම්, බයිබල් පාඩම් කළේ නැති නිසා හවසට අපි අපේ පවුලේ අයට, අනිත් පුරෝගාමීන්ට ලිපි ලිව්වා. ඒක අපිට ලොකු දිරිගැන්වීමක් වුණා.”—1 තෙස. 5:11.

කොච්චර අභියෝග තිබුණත් පුරෝගාමීන් සැලුණේ නැහැ. ප්‍රංශයේ දශක ගණනාවක් සේවය කරපු පුරෝගාමීන් ශාඛා කාර්යාලයට එවපු ලිපිවලින් ඒක පැහැදිලියි. 1931 ඉඳන් 1935 වෙන කල් සැමියාත් එක්ක ප්‍රංශයේ හුඟක් ප්‍රදේශවල සේවය කරපු ඇනී ක්‍රේජීන් කියන අභිෂේක ලත් සහෝදරිය අතීත මතකයන් අවදි කරමින් මෙහෙම කියනවා. “අපිට කරන්න හුඟක් වැඩ තිබුණා. ඒ වගේම අපේ ජීවිතත් සතුටින් පිරිලා තිබුණා. අපි කණ්ඩායමක් විදිහට එකිනෙකාට උදව් කරගෙන සේවය කරපු නිසා ‘බීජ පැළ කළේ මමය. ඊට වතුර වත් කළේ අපොලොස්ය. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසයි’ කියලා පාවුල් කියපු දේ අද්දකින්න පුළුවන් වුණා. අවුරුදු ගාණකට කලින් අපි දරපු වෙහෙසේ ප්‍රතිඵල අද දකිද්දී අපිට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ.”—1 කොරි. 3:6.

ප්‍රංශයේ මුලින්ම පුරෝගාමි සේවය කරපු ඒ අය විඳදරාගෙන, උද්‍යෝගයෙන් සේවය කළා විතරක් නෙමෙයි එහෙම සේවය කරන්න අනිත් අයට ලොකු ආදර්ශයකුත් දුන්නා. අද වෙනකොට ප්‍රංශයේ ස්ථාවර පුරෝගාමීන් 14,000කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගෙන් වැඩිදෙනෙක් සේවය කරන්නේ වෙනත් භාෂා කතා කරන කණ්ඩායම්වල නැත්නම් සභාවලයි. * ඒ අයත් ප්‍රංශයේ මුලින්ම සේවය පටන්ගත්ත අය වගේ තමන්ගේ සේවය නතර කරන්න ඉර යට තියෙන කිසිම දේකට ඉඩ නොදී ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.—ප්‍රංශයේ අතීතයෙන් බිඳක්.

^ 4 ඡේ. 2015 අගෝස්තු 15 ‘මුරටැඹ’ කලාපයේ “යෙහෝවා දෙවි ඔයාලව ප්‍රංශයට ගෙනාවේ සත්‍යය කියලා දෙන්නයි” කියන ලිපිය බලන්න.

^ 13 ඡේ. 2014 වෙනකොට ප්‍රංශ ශාඛා කාර්යාලයේ අධීක්ෂණය යටතේ වෙනත් භාෂා කතා කරන සභා නැත්නම් කණ්ඩායම් 900කට වඩා වැඩි ගණනක් තියෙනවා. භාෂා 70කින් එහේ පණිවිඩේ දේශනා කරනවා.