Skip to content

පටුනට යන්න

දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි

දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි

“මා දැන් පවසන දේට ඇහුම්කන් දෙන්න.”—යෝබ් 42:4.

ගීතිකා: 113, 114

1-3. (අ) දෙවිගේ සිතුවිලිත් අදහස් දක්වන විදිහත් මිනිසුන් අදහස් දක්වන විදිහට වඩා උසස් කියන්නේ ඇයි? (ආ) මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවද?

යෙහෝවා දෙවි ප්‍රීතිමත් දෙවි කෙනෙක්. (1 තිමෝ. 1:11) තමන්ගේ සතුට අනිත් අය එක්ක බෙදාගන්න කැමති කෙනෙක්. ඒ නිසයි ඔහු දේවදූතයන්වත් මිනිසුන්වත් නිර්මාණය කළේ. (ගීතා. 36:9) ඒත් ඒ හැමෝටම කලින් දෙවි නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා. යොහන් ඒ කෙනාව හඳුන්වන්නේ “‘වචනය’ නමැති තැනැත්තා” කියලයි. (යොහ. 1:1; එළි. 3:14) යෙහෝවා දෙවි “වචනය” නමින් හඳුන්වපු යේසුස් එක්ක ඔහුගේ හැඟීම්, අදහස් බෙදාගත්තා. (යොහ. 1:14, 17; කොලො. 1:15) දේවදූතයන් එක්කත් දෙවි කතාබහ කරනවා. ඔවුන්ටත් භාෂාවක් තියෙනවා. ඒක මිනිසුන්ගේ භාෂාවලට වඩා හුඟක් වෙනස්.—1 කොරි. 13:1.

2 තමන් නිර්මාණය කරපු බිලියන ගණන් දේවදූතයන්ගේ, මිනිසුන්ගේ හැම විස්තරයක්ම යෙහෝවා දෙවි දන්නවා. මිලියන ගාණක් එකම වෙලාවේ කරන යාච්ඤාවලට සවන් දෙන්න ඔහුට පුළුවන්. ඒ යාච්ඤා මොන භාෂාවකින් කළත් ඒවා තේරුම්ගන්න ඔහුට හැකියාව තියෙනවා. ඒවාට සවන් දෙන අතරේම දේවදූතයන් එක්ක කතා කරන්න, මඟ පෙන්වීම් දෙන්න දෙවිට පුළුවන්. ඒ හැම දේම කරන්න දෙවිට මොන තරම් බලයක් ඇද්ද! ඔහුගේ සිතුවිලි, ඔහු අදහස් දක්වන්න විදිහ මිනිසුන් අදහස් දක්වන විදිහට වඩා මොන තරම් උසස් ඇද්ද! (යෙසායා 55:8, 9 කියවන්න.) ඒත් ඔහු මිනිසුන්ට යම් දේවල් ගැන දැනුම් දෙද්දී ඒක කරන්නේ මිනිසුන්ට තේරුම්ගන්න පුළුවන්, සරල විදිහටයි.

3 යෙහෝවා දෙවි මිනිසුන්ට තේරෙන විදිහට ඔහුගේ අදහස් දැනුම් දෙන්නේ කොහොමද? පවතින තත්වයට අනුව අදහස් දැනුම් දෙන විදිහ ඔහු වෙනස් කරලා තියෙන්නේ කොහොමද?

දෙවි තම අදහස් මිනිසුන්ට දන්වයි

4. (අ) මෝසෙස්, සාමුවෙල් සහ දාවිත් වගේ අයට දෙවි තම අදහස් දැනුම් දුන්නේ මොන භාෂාවෙන්ද? (ආ) බයිබලේ තියෙන්නේ මොනවද?

4 ආදම් එක්ක යෙහෝවා දෙවි කතාබහ කරන්න ඇත්තේ ඉපැරණි හෙබ්‍රෙව් භාෂාවෙන් කියලා අපිට හිතන්න පුළුවන්. ඊටපස්සේ මෝසෙස්, සාමුවෙල්, දාවිත් වගේ බයිබලේ පොත් ලියපු අයටත් දෙවි ඔහුගේ අදහස් දැනුම් දෙන්න ඇත්තේ ඒ භාෂාවෙන් වෙන්න ඇති. දෙවිගේ අදහස්, දෙවි කරපු ප්‍රකාශයන්, අතීතයේදී ඔහු තම සෙනඟ එක්ක කටයුතු කරපු විදිහ ගැන ඒ අය තමන්ට හුරු පුරුදු හෙබ්‍රෙව් භාෂාවෙන්, තමන්ගේ ශෛලියෙන් ලිව්වා. දෙවිගේ සෙනඟට දෙවි ගැන තිබුණු විශ්වාසය, ආදරේ විතරක් නෙමෙයි ඔවුන් අතින් වුණු අඩුපාඩු ගැනත් දෙවිට අකීකරු වුණු අවස්ථා ගැනත් ලිව්වා. ඒ හැම දෙයක්ම ලියන්න දෙවි මඟ පෙන්නුවේ අපේ ප්‍රයෝජනයටයි.—රෝම 15:4.

5. දෙවි මිනිසුන්ට අදහස් දැනුම් දුන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් විතරද? පැහැදිලි කරන්න.

5 යෙහෝවා දෙවි අදහස් දැනුම් දුන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් විතරක් නෙමෙයි. ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියේ වහල්කමින් නිදහස ලබපු කාලේ වෙද්දී ඒ අයගෙන් සමහරු කතා කළේ ඇරමයික භාෂාව. දානියෙල්, යෙරෙමියා, එස්රා වගේ අයට එයාලා ලියපු පොත්වල සමහර කොටස් ඇරමයික භාෂාවෙන් ලියන්න දෙවි මඟ පෙන්වන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. *

6. හෙබ්‍රෙව් ලියවිල්ල ග්‍රීක භාෂාවට පරිවර්තනය කළේ ඇයි?

6 ලෝකෙ රටවලින් වැඩි හරියක් මහ ඇලෙක්සැන්ඩර් රජුගේ පාලනය යටතට පත් වුණාට පස්සේ එදිනෙදා භාවිත කරපු ග්‍රීක භාෂාව (කීනි) ලෝකෙ ප්‍රධානම භාෂාව වුණා. යුදෙව්වන් වැඩිදෙනෙක් කතා කළෙත් ග්‍රීක භාෂාව. ඒ නිසා හෙබ්‍රෙව් ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය හැඳින්නුවේ “සෙප්ටුඅජින්ට්” කියලා. ඒක බයිබලේ මුල්ම පරිවර්තනයයි. ඒ වගේම වැදගත්ම බයිබල් පරිවර්තනවලින් එකක්. පරිවර්තකයන් 72දෙනෙක් ඒකට හවුල් වෙන්න ඇති කියලා විශේෂඥයන් විශ්වාස කරනවා. * ඒ පරිවර්තකයන්ගෙන් සමහරු වචනෙන් වචනේ පරිවර්තනය කළා. තවත් අය අදහස පරිවර්තනය කළා. ප්‍රතිඵලයක් විදිහට පරිවර්තන ශෛලියන් කීපයක් ඒකට ඇතුළත් වුණා. ඒත් “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය දෙවිගේ වචනය කියන දේ ගැන ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානීන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

7. යේසුස් ඉගැන්නුවේ මොන භාෂාවෙන්ද?

7 පොළොවේ ඉද්දී යේසුස් කතා කරන්න ඇත්තේ හෙබ්‍රෙව් භාෂාව කියලා හිතන්න පුළුවන්. (යොහ. 19:20; 20:16; ක්‍රියා 26:14) ඒ වගේම ඒ කාලේ පොදුවේ භාවිත කරපු ඇරමයික භාෂාවේ සමහර යෙදුම් ඔහු පාවිච්චි කරන්න ඇති. මෝසෙස් සහ අනිත් අනාගතවක්තෘවරු ලියපු දේවල් හැම සතියකම සිනගෝගවල කියෙව්ව නිසා යේසුස් අතීත හෙබ්‍රෙව් භාෂාවත් දැනගෙන හිටියා කියලා කියන්න පුළුවන්. (ලූක් 4:17-19; 24:44, 45; ක්‍රියා 15:21) ග්‍රීක සහ ලතින් භාෂාවන් ඒ කාලේ භාවිත වුණත් යේසුස් ඒ භාෂාවලින් ඉගැන්නුවද නැද්ද කියලා බයිබලේ කියන්නේ නැහැ.

8, 9. බයිබලේ සමහර පොත් ග්‍රීක භාෂාවෙන් ලිව්වේ ඇයි? ඒකෙන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

8 යේසුස්ගේ මුල් ගෝලයන් කතා කළේ හෙබ්‍රෙව් භාෂාව. ඒත් යේසුස්ගේ මරණයෙන් පස්සේ වෙනත් භාෂා කතා කරන අයත් ඔහුගේ අනුගාමිකයන් වුණා. (ක්‍රියා 6:1 කියවන්න.) ශුභාරංචිය පැතිර යනවත් එක්කම හෙබ්‍රෙව් භාෂාව කතා කරන අයට වඩා ග්‍රීක භාෂාව කතා කරන අනුගාමිකයන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. ග්‍රීක භාෂාව ඒ කාලේ පොදුවේ හැමෝම වගේ දැනගෙන හිටපු නිසා මතෙව්, මාක්, ලූක්, යොහන් කියන පොත් බෙදාහැරියේ ග්‍රීක භාෂාවෙන්. * පාවුල්ගේ ලිපි වගේම බයිබලේ ඉතුරු පොත් ලිව්වෙත් ග්‍රීක භාෂාවෙන්.

9 ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලට අයත් පොත් ලියපු අය හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දක්වද්දී ඒ අය නිතරම වගේ උපුටාගත්තේ “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයෙන්. ඒ පරිවර්තනයෙන් උපුටාගත්ත කොටස්වල අදහසේ වෙනසක් තිබුණේ නැතත් මුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ තිබුණු වචන ඒ විදිහටම පරිවර්තනය කරලා තිබුණේ නැති තැන් තිබුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ පව්කාරකම උරුම කරගත්ත මිනිසුන් කරපු පරිවර්තනයක කොටස් දේවවචනයට ඇතුල් කරන්න දෙවි ඉඩහැරියා කියන එකයි. භාෂාවක්, සංස්කෘතියක් තවත් එකකට වඩා උසස් කියලා යෙහෝවා දෙවි සලකන්නේ නැහැ කියන දේ ඒ දේවලින් අපිට ඉගෙනගන්න පුළුවන්.—ක්‍රියා 10:34 කියවන්න.

10. අදහස් දැනුම් දෙන්න තත්වයට අනුව දෙවි වෙනස් වුණු විදිහෙන් අපි තේරුම්ගන්නේ මොනවද?

10 පවතින තත්වයට අනුව යෙහෝවා දෙවි ඔහුගේ අදහස් දැනුම් දෙන්න පාවිච්චි කරපු භාෂාව වෙනස් කළා කියලා අපි ඉගෙනගත්ත දේවලින් පැහැදිලියි. දෙවිව දැන හඳුන ගන්නත් ඔහුගේ අරමුණ ගැන දැනගන්නත් යම් විශේෂ භාෂාවක් ඉගෙනගන්න ඕනෙ කියලා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (සෙකරියා 8:23; එළිදරව් 7:9, 10 කියවන්න.) බයිබලේ ලියපු අයට ඒ තොරතුරු දුන්නේ දෙවි වුණත් ඒවා එයාලගේ භාෂාවෙන්, කැමති ශෛලියකින් ලියන්න දෙවි ඉඩ දුන්නා කියලත් අපි දැනගත්තා.

දේවවචනය ආරක්ෂා වුණා

11. මිනිසුන් විවිධ භාෂා කතා කළත් තමන්ගේ අදහස් දැනුම් දෙන්න දෙවිට ඒක බාධාවක් නොවන්නේ ඇයි?

11 අද ලෝකෙ හුඟක් භාෂා තියෙනවා. ඒත් යෙහෝවා දෙවිට ඒක බාධාවක් නෙමෙයි. අපි ඒක දන්නේ කොහොමද? යේසුස් කතා කරපු වචන ඒ විදිහටම ඒ භාෂාවෙන්ම බයිබලේ සඳහන් වෙන්නේ අවස්ථා කීපයකදී විතරයි. (මතෙ. 27:46; මාක් 5:41; 7:34; 14:36) ඒත් යේසුස් උගන්වපු දේවල් ග්‍රීක භාෂාවෙන් ලියන්නත් කාලයත් එක්කම වෙනත් භාෂාවලට පරිවර්තනය කරන්නත් අවශ්‍ය පියවර දෙවි ගත්තා. යුදෙව්වන් සහ ක්‍රිස්තියානීන් දේවවචනය හුඟක් වතාවක් පිටපත් කරපු නිසා දෙවිගේ වචනය ආරක්ෂා වුණා විතරක් නෙමෙයි පස්සේ කාලෙකදී ඒ පිටපත් වෙනත් භාෂාවලට පරිවර්තනය කරන්නත් පුළුවන් වුණා. ක්‍රි.ව. 400 විතර හිටපු ජෝන් ක්‍රිසොස්ටෝම් කිව්වේ ඒ කාලේ වෙද්දී යේසුස්ගේ ඉගැන්වීම් සිරියානු, ඊජිප්තු, ඉන්දියානු, පර්සියානු සහ ඉතියෝපීය භාෂාවන් ඇතුළු තවත් හුඟක් භාෂාවලට පරිවර්තනය කරලා තිබුණා කියලයි.

12. බයිබලේ විනාශ කරන්න ගත්තේ මොන වගේ උත්සාහයක්ද?

12 ඉතිහාසය පුරාම බයිබලේටත් ඒකේ පරිවර්තකයන්ටත් ඒක බෙදාහැරිය අයටත් හුඟක් ප්‍රහාරයන් එල්ල වුණා. ක්‍රි.ව. 300දී විතර ඩයොක්ලීෂන් කියන රෝම අධිරාජ්‍යයා බයිබලේ හැම පිටපතක්ම විනාශ කරන්න දුන්න නියෝගය ඒ අතරින් එකක්. ඊට අවුරුදු 1,200කට විතර පස්සේ බයිබලේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න පටන්ගත්ත විලියම් ටින්ඩේල්ටත් හුඟක් පීඩාවලට මුහුණ දෙන්න වුණා. ඔහුට ඕනෙ වුණේ බයිබලේ ගැන පූජකයෙක්ට තියෙනවට වඩා වැඩි අවබෝධයක් පොඩි ළමයෙකුට වුණත් ලබාගන්න පුළුවන් පරිවර්තනයක් කරන්නයි. ඒත් ආපු පීඩා නිසා පරිවර්තන වැඩ දිගටම කරගෙන යන්න එංගලන්තය අත්හැරලා යුරෝපයට යන්න ඔහුට සිද්ධ වුණා. පූජකයන් හැම බයිබල් පිටපතක්ම විනාශ කරන්න හැදුවත් ඒ වෙද්දී ටින්ඩේල්ගේ පරිවර්තනය හුඟක් මිනිසුන් අතරේ බෙදාහැරලයි තිබුණේ. අන්තිමේදී ඔවුන් ටින්ඩේල්ගේ ගෙල හිර කරලා මරලා සිරුර කණුවක ගැටගහලා ගිනි තිබ්බා. ඒත් ඔහුගේ පරිවර්තනය නැති කරලා දාන්න පූජකයන්ට පුළුවන් වුණේ නැහැ. “කිං ජේම්ස් වර්ෂන්” කියන පරිවර්තනය සකස් කළේ ටින්ඩේල්ගේ පරිවර්තනය යොදාගෙනයි.—2 තිමෝති 2:9 කියවන්න.

13. පැරණි අත්පිටපත් අධ්‍යයනය කරපු එකෙන් ඔප්පු වුණේ මොකක්ද?

13 බයිබලේ පැරණිම පිටපත් දිහා බලද්දී ඒවා අතරේ පොඩි පොඩි වෙනස්කම්, අඩුපාඩු තිබුණේ නැතුවම නෙමෙයි. ඒ වුණත් දහස් ගාණක් අත්පිටපත්, අත්පිටපත්වල කොටස් සහ පැරණි බයිබල් පරිවර්තනයන් පරෙස්සමින් අධ්‍යයනය කරපු බයිබල් විශාරදයන් ඒවා එකිනෙක සන්සන්දනය කරලා හොයාගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි ඒ වගේ වෙනස්කම් තියෙන්නේ ඡේද කීපයක විතරයි කියන දේ. ඒ වෙනස්කම් හරිම පුංචි ඒවා කියලා ඒ අය කියනවා. ඒකෙන් බයිබලේ තියෙන ප්‍රධාන පණිවිඩයට කිසිම හානියක් වෙලා නැහැ. අද අපිට තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියපු බයිබලේමයි කියලා තේරුම්ගන්න ඒ වගේ අධ්‍යයනයන් අවංක බයිබල් ශිෂ්‍යයන්ට උදව් වුණා.—යෙසා. 40:8. *

14. මේ වෙද්දී බයිබලේ කොච්චර දුරට ප්‍රචලිත වෙලාද?

14 බයිබලේට මොන තරම් ප්‍රහාර එල්ල වුණත් අද වෙද්දී භාෂා 2,800කට වඩා වැඩි ගාණකට ඒක පරිවර්තනය කරලා තියෙනවා. කිසිම පොතක් ඒ තරම් භාෂාවලට පරිවර්තනය කරලා නැහැ. ලෝකෙ ඉන්න වැඩිදෙනෙකුට දෙවි ගැන විශ්වාසයක් නැතත් ලෝකෙ වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොතත් බයිබලයයි. සමහර බයිබල් පරිවර්තන තේරුම්ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර පරිවර්තනවල නිවැරදිභාවය ගැන පොඩි පොඩි සැක තියෙන්නත් පුළුවන්. ඒත් ඒ ඕනෙම පරිවර්තනයකින් ගැලවීම ලබාගන්න පුළුවන් විදිහ ගැනත් අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව ගැනත් තේරුම්ගන්න පුළුවන්.

අලුත් බයිබල් පරිවර්තනයක අවශ්‍යතාව

15. (අ) භාෂා ගොඩක් තිබුණත් ඒ අභියෝගය ජය අරන් තියෙන්නේ කොහොමද? (ආ) අපේ ප්‍රකාශන ඉංග්‍රීසියෙන් ලියන්නේ ඇයි?

15 1919දී බයිබලය උනන්දුවෙන් අධ්‍යයනය කරපු ටිකදෙනෙක්ව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කළා. ඒ කාලේ විශ්වාසවන්ත දාසයා දෙවිගේ අදහස් දැනුම් දුන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. (මතෙ. 24:45) ඒත් අද වෙනකොට අපේ ප්‍රකාශන භාෂා 700කට වඩා වැඩි ගාණකින් තියෙනවා. අතීත ග්‍රීක භාෂාව වගේ අද වැඩිදෙනෙක් දන්න පොදු භාෂාව වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඒ නිසා අපේ ප්‍රකාශන මුලින් ඉංග්‍රීසියෙන් සකස් කරලා ඊටපස්සේ වෙනත් භාෂාවලට පරිවර්තනය කරනවා.

16, 17. (අ) මතු වුණු අවශ්‍යතාව මොකක්ද? (ආ) ඒක ඉටු කරගත්තේ කොහොමද? (ඇ) සහෝදර නෝර්ගේ ආසාව වුණේ මොකක්ද?

16 අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරු පදනම් වෙන්නේ බයිබලය මතයි. අපි මුලින් පාවිච්චි කළේ 1611දී පරිවර්තනය කරලා අවසන් කරපු “කිං ජේම්ස් වර්ෂන්” කියන පරිවර්තනය. ඒත් ඒකේ තියෙන භාෂාව පරණයි. තේරුම්ගන්නත් ලේසි නැහැ. දෙවිගේ නම පැරණි අත්පිටපත්වල තැන් දහස් ගාණක සඳහන් වුණත් ඒ පරිවර්තනයේ නම තිබුණේ තැන් කීපයක විතරයි. ඒකේ පරිවර්තන දෝෂ කීපයකුත් පැරණි අත්පිටපත්වල තිබුණේ නැති ඡේද කීපයකුත් තිබුණා. වෙනත් ඉංග්‍රීසි පරිවර්තනවලත් ඒ වගේ දෝෂ තිබුණා.

17 ඒ නිසා වඩාත් නිවැරදි, පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් බයිබල් පරිවර්තනයක අවශ්‍යතාව දෙවිගේ සෙනඟට තදින්ම දැනුණා. නව ලොව පරිවර්තන කමිටුව පිහිටෙව්වේ ඒ නිසයි. ඒ කමිටුවේ හිටපු අය 1950ත් 1960ත් අතර කාලෙදී බයිබලය වෙළුම් 6කින් මුදාහැරියා. 1950 අගෝස්තු 2වෙනිදා පළවෙනි වෙළුම මුදාහරිද්දී සහෝදර නෝර් කිව්වේ නිවැරදි, සරල වගේම සත්‍යය වඩාත් පහසුවෙන් තේරුම්ගන්න උදව් වෙන පරිවර්තනයක් දෙවිගේ සෙනඟට ඕනෙ කියලයි. යේසුස්ගේ ගෝලයන් බයිබලේ පොත් ලිව්වේ හරිම සරල විදිහට. ඒවා ඒ විදිහටම පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් පරිවර්තනයක අවශ්‍යතාව තියෙනවා කියලත් ඔහු කිව්වා. ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ඒකට හොඳ විසඳුමක් වෙයි කියලත් මිලියන ගාණකට යෙහෝවා දෙවි ගැන දැනගන්න ඒක උදව් වෙයි කියලත් සහෝදර නෝර් බලාපොරොත්තු වුණා.

18. බයිබලේ වැඩි භාෂා ගාණකට පරිවර්තනය කරන්න උදව් වුණේ මොනවද?

18 සහෝදර නෝර් බලාපොරොත්තු වුණු දේ 1963දී ඉටු වුණා. ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ ඕලන්ද, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, පෘතුගීසි සහ ස්පාඤ්ඤ භාෂාවලින් මුදාහැරියේ ඒ අවුරුද්දෙදියි. 1989දී පාලක මණ්ඩලය විවිධ භාෂාවලට බයිබලේ පරිවර්තනය කරන්න අවශ්‍ය උදව් ලබා දෙන්න අලුත් අංශයක් ලෝක මූලස්ථානයේ පිහිටෙව්වා. ඒ වගේම ‘මුරටැඹ’ සඟරාව පළ කරන හැම භාෂාවකටම බයිබලයත් පරිවර්තනය කරන්න 2005දී අවසර දුන්නා. ප්‍රතිඵලයක් විදිහට මේ වෙද්දී ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම නැත්නම් ඒකේ කොටසක් භාෂා 130කට වඩා වැඩි ගාණකින් ලබාගන්න පුළුවන්.

19. 2013 සිදු වුණු විශේෂ දේ මොකක්ද? ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

19 ‘නව ලොව පරිවර්තනය’ මුලින් මුදාහැරිය කාලේට වඩා දැන් ඉංග්‍රීසි භාෂාව වෙනස් වෙලා. ඒ නිසා ‘නව ලොව පරිවර්තනය’ සංශෝධනය කරන එක අවශ්‍ය වුණා. 2013 ඔක්තෝබර් මාසේදී රටවල් 31ක රැස් වුණු 14,13,676දෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 129වෙනි වාර්ෂික රැස්වීමට සම්බන්ධ වුණා. ඒකෙදී සංශෝධනය කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් මුදාහරිද්දී රැස් වෙලා හිටපු හැමෝම සතුටින් ඉපිල ගියා. හුඟදෙනෙක් තමන්ගේ පිටපත අතට ගත්තේ සතුටු කඳුළු ඇස්වල පුරෝගෙන. දේශන ඉදිරිපත් කරපු සහෝදරයන් අලුත් බයිබලෙන් පද කියවද්දී හැමෝටම තේරුණා කලින්ට වඩා මේ පරිවර්තනය හුඟක් සරල, තේරුම්ගන්න පහසු එකක් කියලා. ඊළඟ ලිපියෙන් අපි සංශෝධනය කරපු ‘නව ලොව පරිවර්තනය’ ගැනත් ඒක වෙනත් භාෂාවලට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලත් බලමු.

^ 5 ඡේ. එස්රා 4:8–6:18; 7:12-26; යෙරෙමියා 10:11 සහ දානියෙල් 2:4–7:28 යන කොටස් මුලින් ලියලා තියෙන්නේ ඇරමයික භාෂාවෙන්.

^ 6 ඡේ. “සෙප්ටුඅජින්ට්” කියන වචනේ තේරුම 70 කියන එකයි. ඒ පරිවර්තනය පටන්ගත්තේ යේසුස් ඉපදෙන්න අවුරුදු 300කට විතර කලින්. ඒක ඉවර කරන්න අවුරුදු 150ක් විතර ගත වුණා. විශේෂඥයන් අමාරු හෙබ්‍රෙව් වචන නැත්නම් සමහර ඡේදවල අදහස තේරුම්ගන්න අදටත් ඒ පරිවර්තනය යොදාගන්නවා.

^ 8 ඡේ. මතෙව් පොත හෙබ්‍රෙව් භාෂාවෙන් ලියලා පස්සේ මතෙව්ම ඒක ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන්න ඇති කියලා සමහරු හිතනවා.

^ 13 ඡේ. ‘සියලුම ජනයා සඳහා පොතක්’ කියන සඟරාවේ 7-9 දක්වා පිටුවල “පොත ආරක්ෂා වුණේ කොහොමද?” කියන ලිපිය බලන්න.