Skip to content

පටුනට යන්න

ප්‍රශ්න ගැටලු මැද සතුටින්

ප්‍රශ්න ගැටලු මැද සතුටින්

බොලිවියාවෙන් ලිපියක්

ප්‍රශ්න ගැටලු මැද සතුටින්

සංවර්ධනය වෙමින් පවතින රටකට ගොස් දෙවිට සේවය කරන කෙනෙක් හැටියට, කිසිම බලාපොරොත්තුවක් නැති දිලිඳු අයව මම හුඟක් දැකලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් එනවා දකින්න මම හරිම ආසයි. ඒත් ඒ දේවලට විසඳුමක් ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් පමණයි කියලා මම දන්නවා. කොහොමවුණත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන අය පවා බයිබලය අධ්‍යයනය කරලා ඒ අනුව ජීවත් වීමෙන් සතුටින් ඉන්නවා මම දැකලා තියෙනවා. එවැනි අය අතරින් කෙනෙක් තමයි සබීනා.

අවුරුදු ගාණකට කලින් සබීනාගේ සැමියා රැකියාවක් සොයාගැනීම සඳහා වෙනත් රටකට ගියා. ඔහු ගිහින් සති මාස අවුරුදු ගත වුණත් ඔහු ආපසු පැමිණියේ නැහැ. ඊටපස්සේ දියණියන් දෙදෙනා සමඟ සබීනා තනි වුණා. එදා සිට අද දක්වා තම දරුවන් දෙදෙනා වන මිලේනාව සහ ගිල්යාන්ව රැකබලා ගැනීමට සබීනා මහත් සටනක යෙදෙනවා.

මට මුලින්ම සබීනාව මුණගැහුණේ එයාගේ අක්කගේ කඩේ වැඩ කරගෙන ඉන්නකොටයි. ඒ වෙලාවේ එයා හුඟක් මහන්සි වෙලයි හිටියේ. මම එයාගෙන් ඇහුවා ඔයයි ඔයාගේ දුවලා දෙන්නයි බයිබලය ගැන ඉගෙනගන්න කැමතිද කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. “මම ඒකට හුඟක් කැමතියි, ඒත් මට ඒක කරන්න තරම් කාලයක් නැහැ. ඒ වුණාට ඔයාට පුළුවන් මගේ දුවලා දෙන්නට බයිබලය ගැන කියලා දෙන්න.” දුවලා දෙන්නා හරිම ආසාවෙන් මාත් එක්ක බයිබලය ගැන ඉගෙනගත්තා. මේ විදිහට දිගටම පාඩම කරගෙන යන විට මට තේරුණා දරුවෝ දෙන්නව බලා කියා ගන්න සබීනා කොයි තරම් මහන්සි වෙනවද කියලා.

සබීනා ජීවත් වෙන්නේ පුංචි කාමරයක. ඇගේ ගෙදර වියදම පියවාගන්න සබීනා එයාගේ අක්කගේ කඩේ වැඩ කරනවාට අමතරව පැටිස් හදලා විකුණනවා. කලින් දවසේ පිටි අනලා සූදානම් කරගන්නා සබීනා පසුවදා අලුයම හතරට අවිදි වෙලා පැටිස් මිශ්‍රනය සාදාගන්නවා. නමුත් ඇය දරුවන් දෙදෙනාගේ නින්දට කිසිම බාධාවක් කරන්නේ නැහැ.

කුලියට ගත් අත් කරත්තයකට සබීනා කුඩයක්, මේසයක්, ගෑස් ලිපක්, බංකු සහ භාජන කිහිපයක් මෙන්ම තෙල් සහ පැටිස් මිශ්‍රනයද පටවාගන්නවා. එමෙන්ම නිවසේදීම සාදාගත් නැවුම් පළතුරු යුෂත් රැගෙන යනවා.

උදෑසන හයට සබීනා කරත්තයත් තල්ලු කරගෙන ඇගේ දරුවන් දෙදෙනා සමඟ රැකියාව බලා පිටත් වෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ තමන්ට කිරීමට තිබෙන කාර්යයටයි. ඒ නිසා ඔවුන් අතර කිසිම කතාවක්වත් මුහුණේ සිනාවක්වත් දකින්න නැහැ. ජීවිතය ගැටගසාගන්න මෙලෙස වෙහෙසෙන බොහෝදෙනෙකුව මම දැක තිබෙනවා. එළිය වැටෙන්නත් කලින් නිවසෙන් පිට වෙලා පාර අයින්වල කෑම සහ බීම විකුණා ජීවත් වන කාන්තාවන් බොලිවියාවේ ඕනෑ තරම් ඉන්නවා. සබීනා ඒ අය අතරින් එක් කෙනෙක් විතරයි.

උදෑසන 6:30ට විතර කඳු අතරින් හිරු එබිකම් කරද්දී සබීනා ඇගේ වෙළඳාම් ස්ථානයට ළඟා වෙනවා. එහි පැමිණි විගස කරත්තයෙන් බඩු බාගෙන ඇය ඒ දේවල් නිසි පිළිවෙළට තබාගන්නවා. රත් වූ තෙලේ පැටිස් බැඳෙන විට හමන සුවඳට ඒ අවටින් යන එන අය ඇදී එන එක අහන්නත් දෙයක්ද!

පැටිස් ගන්න ආ පළමු කෙනාගෙන් සබීනා මෙහෙම අහනවා. “කීයක් ඕනෙද?” නිදිමතේ සිටින ඔහු කිසිම වචනයක් නොපවසා ඇඟිලි දෙකක් පෙන්වයි. ඊටපස්සේ සබීනා උණු උණුවේම පැටිස් දෙකක් ඔහුට දී සල්ලි ගනියි. දිනපතාම සබීනාගේ පැටිස් වෙළඳාම සිදු වන්නේ ඒ ආකාරයටයි. පැටිස් සියල්ල අවසන් වූ විගස සබීනා ඇගේ බඩු බාහිරාදිය නැවතත් කරත්තයට පටවාගෙන නිවස බලා පිටත් වෙනවා. නැවත නිවසට එන සබීනා කොතරම් මහන්සි වෙලා හිටියත් වෙහෙස නොබලා අක්කාගේ කඩේ වැඩට පිට වෙනවා.

සබීනාගේ දුවලා දෙදෙනාට බයිබලය ගැන උගන්වන්න මම ගිය මුල්ම වතාවේදී අපිට වාඩි වෙන්න ඒගොල්ලන් බංකු දෙකක් තියලා තිබුණා. ඒ වන විට වයස අවුරුදු නවයක් වුණ මිලේනා සහ වයස අවුරුදු හතක් වුණ ගිල්යාන් බයිබලය ගැන ඉගෙනගත්තේ හරිම ආශාවෙන්. ඔවුන් පාඩමට හොඳින් සූදානම් වෙලා ඉන්නවා. මුලින්ම ඒ දෙදෙනා ටිකක් ලැජ්ජාවෙන් හිටියත් කාලයක් යද්දී මාත් එක්ක හුඟක් යාළු වුණා. සබීනාත් ඒ ගැන හුඟක් සතුටු වුණා. ඒ නිසා කාර්යබහුල ජීවිතයක් ගත කළත් සබීනාත් බයිබලය ගැන ඉගෙනගන්න කැමති වුණා.

බයිබලය ගැන දිගටම ඉගෙනගන්න විට යෙහෝවා දෙවි කෙරෙහි ඇයට ලොකු ප්‍රේමයක් ඇති වුණා. මීට පෙර සබීනා ඇගේ ජීවිතයේ අත් නොදුටු සන්තෝෂයක් අද්දකින්න පටන්ගත්තා. ඉතා වෙහෙසකර ජීවිතයක් ගත කරමින් දුකෙන් සිටි සබීනාගේ ජීවිතය වෙනස් වෙන්න පටන්ගත්තා. සබීනාත් එයාගේ දරුවෝ දෙන්නත් සතුටින් ඉන්න බව හැමෝටම පැහැදිලිව පෙනෙන්න තිබුණා. ඇගේ අක්කා ඒ ගැන මෙහෙම කිව්වා. “සබීනා මීට කලින් සතුටින් ඉන්නවා මම දැකලා නැහැ. ඒත් දැන් එයා හැම තිස්සේම ඉන්නේ හුඟක් සතුටින්.” සබීනා මේ තරම් සතුටින් ඉන්නේ එයා යෙහෝවා දෙවි ගැනත් දෙවි ඉදිරියේදී කරන්න යන දේවල් ගැනත් ඉගෙනගත් නිසයි.

සබීනා උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කළත් ඇගේ කාර්යබහුල ජීවිතය නිසා ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණීම පහසු දෙයක් වුණේ නැහැ. නමුත් මගේ ආරාධනාව පිළි අරන් සබීනා දවසක් රැස්වීමට ආවා. එදා ඉඳන් අද වෙන තුරු සබීනා දිගටම රැස්වීම්වලට එනවා. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණීම නිසා සබීනාට සැබෑ මිතුරන්ව සොයාගන්නත් පුළුවන් වුණා. ඒ වගේම යෙහෝවා දෙවිට ප්‍රේම කරන අයගේ අවශ්‍යතාවන් දෙවි ඉටු කරන බවත් සබීනා අද්දැක්කා.—ලූක් 12:22-24; 1 තිමෝති 6:8.

බයිබලයෙන් ඉගෙනගත් දේවලින් සබීනා ලොකු සතුටක් ලැබුව නිසා ඒ දේවල් අන් අයටත් කියලා දෙන්න ඇයට අවශ්‍ය වුණා. නමුත් ඒ දේ කරන්න සබීනාට ධෛර්යය තිබුණේ නැහැ. ඒ ගැන සබීනා මෙසේ පවසනවා. “බයිබලයේ තියෙන දේවල් අනික් අයට කියලා දෙන්න ඕනේ කියලා හිතෙනකොටත් මට භයයි. මම වගේ නූගත් කෙනෙක් කොහොමද අනික් අයට බයිබලයේ තියෙන දේවල් උගන්වන්නේ!” කොහොමවුණත් අනික් අයගේ සහයෝගය සහ බයිබලය අධ්‍යයනය කිරීමෙන් තමා අද්දකින සන්තෝෂයම අන් අයත් අද්දකිනවාට ඇය කැමති වූ නිසා බයිබලය ගැන අනික් අයට කියා දෙන්න ඇය පෙලඹුණා. එයින් තම දරුවන් දෙදෙනාටත් කදිම ආදර්ශයක් තබන බව සබීනා තේරුම්ගත්තා. දැන් ඇගේ දරුවන් දෙදෙනාත් උද්‍යෝගයෙන් ඒ කාර්යයේම හවුල් වෙනවා.

දැන් සබීනා අන් අය මෙන් වෙහෙසකර ජීවිතයක් ගත කළත් අසන්තෝෂයෙන් සිටින කෙනෙක් නොවෙයි. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඇගේ ආර්ථික තත්වය වෙනස් වූයේ නැහැ. නමුත් ඇය ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් ලෙස සබීනා බව්තීස්ම වී සිටින නිසා මිනිසුන්ගේ දිලිඳුකමට නිමාවක් ගෙන ඒමට හැකියාව තිබෙන්නේ දේවරාජ්‍යයට පමණයි කියා ඇය දැන් අන් අයට කියා දෙනවා.—මතෙව් 6:10.

වේලාව අලුයම පහයි. වෙනදා මෙන් සබීනා නිවසින් පිට වී යෑමට සූදානම්. නමුත් මේ වතාවේදී ඇය යන්නේ පැටිස් විකිණීමට නොවෙයි. ඒ වෙනුවට සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සමඟ හවුල් වී දේවරාජ්‍යය ගැන මිනිසුන්ට කියා දීමටයි. මේ සඳහා ඇය සතියකට වෙනම වේලාවක් වෙන් කරගෙන සිටිනවා. කරත්තයක් තල්ලු කරගෙන යනවා වෙනුවට සිනා මුසු මුහුණින් අද ඇය බයිබලයක් සහ සඟරා පොත් පත් සහිත බෑගයක් රැගෙන සේවය සඳහා පිටත්ව යනවා. ඇය මේ කාර්යයේ හවුල් වීමෙන් අද්දකින්නේ පුදුමාකාර සතුටක්. ඒ ගැන සබීනා මෙසේ පවසනවා. “බයිබලයේ තියෙන දේවල් අනික් අයට කියලා දෙන්න මට පුළුවන් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මේ සේවයට මම හුඟක් ආසයි.”