Skip to content

පටුනට යන්න

සදහටම පවතින දෙවිගේ වචනය

සදහටම පවතින දෙවිගේ වචනය

සදහටම පවතින දෙවිගේ වචනය

අතීතයේදී අද මෙන් ලේඛන කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි තිබුණේ නැහැ. එමනිසා අනවශ්‍යයැයි සැලකූ ලියවිලිවල තිබූ තොරතුරු මකා දමා ඒ මත නැවත ලියන්න එදා සිටි අය පුරුදුව සිටියා. සමහර අවස්ථාවලදී එයාකාරයට බයිබල් පිටපත්වල තිබූ දේවල් පවා මකා දමා වෙනත් දේවල් ලියා තිබෙනවා.

එවැනි විපර්යාසයකට ලක් වූ බයිබල් පිටපතක් සොයාගෙන තිබෙනවා. එය හඳුන්වන්නේ කෝඩෙක්ස් එෆ්‍රේමි සුඑරි රෙස්ක්‍රිප්ටුස් ලෙසයි. (“රෙස්ක්‍රිප්ටුස්” යන්නෙහි අර්ථය මකන ලද දෙයක් මත නැවත ලිවීම යන්නයි.) දැනට සොයාගෙන තිබෙන අලුත් ගිවිසුමේ පැරණිතම පිටපත්වලින් එකක් ලෙස එය සැලකෙනවා. ඒ නිසා එය වටිනාකමින්ද ඉහළයි. බයිබලයේ විශ්වාසවන්තභාවය ඔප්පු කිරීමට එම පිටපත ප්‍රබල සාක්ෂියක් වී තිබෙනවා.

අලුත් ගිවිසුමේ එම පැරණි පිටපත ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී සම්පාදනය කරන ලද්දක්. නමුත් එය සම්පූර්ණයෙන්ම මකා දමා සිරියානු විශාරදයෙක් වූ ඉෆ්‍රායිම් නමැත්තාගේ දේශනයක් ග්‍රීක භාෂාවෙන් ඒ මත ලියා තිබෙනවා. මෙය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 12වන සියවසේදීයි. නමුත් එම පිටපත පරීක්ෂා කළ විට ඒ පිටුපස මකා දමනු ලැබූ අකුරු පවතින බව 17වන සියවසේ සිටි පර්යේෂකයන් සොයාගත්තා. කෙසේවෙතත් ඒවා හරිහැටි නොපෙනුණ නිසාත් මකා දමනු ලැබූ අකුරු මත වෙනත් යමක් ලියා තිබුණ නිසාත් ඒවා හඳුනාගැනීම පහසු වුණේ නැහැ. ඒ නිසා ඒ මත යම් රසායනික ද්‍රව්‍ය දමා ඒවා හඳුනාගැනීමට ඔවුන් උත්සාහ කළා. නමුත් එයින්ද සාර්ථක ප්‍රතිඵල අත් වූයේ නැහැ. එමනිසා එය සදාකාලිකව රහසක්ව පවතියි කියා විශාරදයන් සිතුවා.

කෙසේවෙතත් 1840දී එක් ජර්මානු ජාතික භාෂාවේදියෙක් වූ කොන්ස්ටන්ටින් වොන් ටිෂෙන්ඩෝෆ් මේ අභියෝගය භාරගත්තා. ඒ සඳහා ඔහු වසර දෙකක් පුරා දැඩි වෙහෙසක් දරමින් එම පිටපත පරීක්ෂා කළා. අවසානයේදී ඔහුගේ වෑයම සාර්ථක වුණා. ඔහුගේ මේ සාර්ථකත්වයට හේතුව කුමක්ද?

ටිෂෙන්ඩෝෆ්ට ග්‍රීක භාෂාවේ නොබැඳි ලොකු අකුරු ක්‍රමය පිළිබඳව මනා අවබෝධයක් වගේම තියුණු පෙනීමක්ද තිබුණා. * එමනිසා එම පිටු ආලෝකයට ඇල්ලීමෙන් එහි අපහැදිලිව තිබූ වචන හඳුනාගැනීමට ඔහුට හැකි වුණා. අද දිනත් පර්යේෂකයන් විවිධ ආලෝක ධාරාවන් සහ කාච උපයෝගී කරගනිමින් කියවීමට අපහසු පැරණි ලියවිලි පරීක්ෂා කරනවා.

කෝඩෙක්ස් එෆ්‍රේමි ලෙස හැඳින්වූ පැරණි බයිබල් පිටපත පරීක්ෂා කිරීමෙන් අනාවරණය කරගත් තොරතුරු ටිෂෙන්ඩෝෆ් 1843දී සහ 1845දී ප්‍රසිද්ධ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රීක පුරාලිපි විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් ලෙස ඔහුව පිළිගැනුණා.

කෝඩෙක්ස් එෆ්‍රේමි නමැති පිටපත අඟල් 12ක් පළලින් සහ අඟල් 9ක් දිගින් යුක්තයි. එහි සෑම පිටුවකම තොරතුරු සටහන් කර තිබෙන්නේ එක් තීරුවක පමණක් වීම විශේෂ දෙයක්. එහි තිබෙන පිටු 209න් 145කම සඳහන් වෙන්නේ අලුත් ගිවිසුමයි. නමුත් 2 තෙසලෝනික සහ 2 යොහන් යන පොත් ඊට ඇතුළත් වී නැහැ. ඊට අමතරව අනික් පිටුවල ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන ලද පැරණි ගිවිසුමේ යම් කොටස් දැකිය හැකියි.

එම පැරණි පිටපත දැන් ප්‍රංශයේ ජාතික පුස්තකාලයේ තබා තිබෙනවා. එම බයිබල් පිටපත සම්පාදනය කළේ කුමන ප්‍රදේශයකද කියා අප හරියටම දන්නේ නැහැ. නමුත් ටිෂෙන්ඩෝෆ් සිතන්නේ එය ඊජිප්තුවේ සම්පාදනය කරන ලද එකක් බවයි. දැනට සොයාගෙන තිබෙන ග්‍රීක භාෂාවේ නොබැඳි ලොකු අකුරු පිටපත් හතර අතරට එම පැරණි පිටපතත් අයත් වෙනවා. ඉතිරි පිටපත් තුන වන්නේ සයිනයිටික්, ඇලෙක්සැන්ඩ්‍රින් සහ වතිකානු 1209යි. ඒවා ක්‍රිස්තු වර්ෂ හතරවන සහ පස්වන සියවස්වලට අයත් වෙනවා.

බයිබලයේ ලියැවුණ අදහස් මේ කාලය දක්වා පැවතවිත් තිබෙන ආකාරය ඇත්තෙන්ම පුදුම සහගතයි. කෝඩෙක්ස් එෆ්‍රේමි ලෙස හඳුන්වන පිටපත ඊට කදිම සාක්ෂියක්. බයිබලය ගැන එතරම් අගයක් නොතිබූ කෙනෙක් ඒවා මකා දමා වෙනත් දෙයක් ඒ මත ලියනු ලැබුවත් දෙවිගේ වචනය සම්පූර්ණයෙන්ම ඉන් ඉවත් කිරීමට ඔහුට හැකි වුණේ නැහැ. එයින් අපට පැහැදිලි වන්නේ ‘යෙහෝවා දෙවිගේ ප්‍රකාශය සදහට පවතියි’ යන වදන්වල ඇති සත්‍යයතාවයි.—1 පේතෘස් 1:25.

[පාදසටහන]

^ 6 ඡේ. සීනයි කන්ද පාමුල තිබූ ශාන්ත කැතරින්ස් පූජකාරාමයෙන් පැරණි ගිවිසුමේ ග්‍රීක පරිවර්තන සොයාගැනීමේ ගෞරවය හිමි වන්නේද ටිෂෙන්ඩෝෆ්ටයි. එය හඳුන්වන්නේ කෝඩෙක්ස් සයිනයිටිකස් ලෙසයි. දැනට සොයාගෙන තිබෙන පැරණිතම පිටපත් අතරින් එකක් ලෙස එය සැලකෙනවා.

[16වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කෝඩෙක්ස් එෆ්‍රේමි සුඑරි රෙස්ක්‍රිප්ටුස් පිටපත තේරුම්ගැනීමට ටිෂෙන්ඩෝෆ් දැරූ වෑයම ප්‍රතිඵලදායකයි (1815-1874)

මුල් බයිබල් පිටපත තිබෙන අයුරු

ග්‍රීක දේශනය ලියා තිබෙන අයුරු

[හිමිකම් විස්තර]

© Bibliothèque nationale de France

[17වන පිටුවේ පින්තූරය]

ශාන්ත කැතරින්ස් පූජකාරාමයෙන් සොයාගත් කෝඩෙක්ස් සයිනයිටිකස් පිටපත

[17වන පිටුවේ පින්තූරය]

ටිෂෙන්ඩෝෆ්