Skip to content

පටුනට යන්න

බයිබලය වෙනුවෙන් වෙහෙස වූ මුද්‍රණ ශිල්පියෙක්

බයිබලය වෙනුවෙන් වෙහෙස වූ මුද්‍රණ ශිල්පියෙක්

බයිබලය වෙනුවෙන් වෙහෙස වූ මුද්‍රණ ශිල්පියෙක්

ඈත අතීතයේදී මුද්‍රණ යන්ත්‍ර නොතිබුණු නිසා පොත් සහ ලියවිලි අතින් පිටපත් කිරීමට සිදු වුණා. නමුත් මුද්‍රණ තාක්ෂණය බිහි වූ පසුව තවදුරටත් ඒ ක්‍රමය අනුගමනය කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මුල්ම වරට ලී අච්චු යොදාගෙන පොත් මුද්‍රණය වී තිබෙන බවට සඳහන් වෙන්නේ චීනයෙයි. එය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 868දීයි. එමෙන්ම 1455දී ජර්මානු ජාතික යොහැනස් ගුටන්බර්ග් ප්‍රථම වතාවට අකුරු අමුණන ක්‍රමය යොදාගෙන ලතින් භාෂාවෙන් මුල්ම බයිබලය මුද්‍රණය කළා.

වැඩි කල් නොගොස් මුද්‍රණ ශිල්පයේ සහ ප්‍රචාරන කටයුතුවල සිදු වූ දියුණුවත් සමඟම බයිබල් පිටපත් ඇතුළු වෙනත් පොත් මුද්‍රණය වීමට පටන්ගත්තා. ඒ සම්බන්ධයෙන් කැපී පෙනුණේ ජර්මනියේ නියුරම්බර්ග් නගරයයි. ආන්ටොන් කෝබජ නම් මුද්‍රණ ශිල්පියා ජීවත් වුණෙත් ඒ නගරයේමයි. බයිබල් පිටපත් විශාල සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම ජාත්‍යන්තර මට්ටමින් ඇරඹුවේ ඔහු විය හැකියි.

කෝබජ ඇතුළු බයිබල් පිටපත් මුද්‍රණය කිරීමට දායක වූ සියලුදෙනාවම අපි අගය කළ යුතුයි. දැන් අපි කෝබජගේ මුද්‍රණ කටයුතු පිළිබඳව සලකා බලමු.

බයිබලය වෙනුවෙන් කැප වී

කෝබජ ඔහුගේ මුල්ම මුද්‍රණාලය විවෘත කළේ 1470දීයි. ඉන්පසුව ඔහු මුද්‍රණ කටයුතු සඳහා මුද්‍රණ යන්ත්‍ර 24ක් භාවිත කළ අතර මුද්‍රණ ශිල්පීන් 100දෙනෙක් ඔහුට සහය දැක්වූවා. ඊට අමතරව දක්ෂ කැටයම්කරුවන්ද ඔහු යටතේ සේවය කළා. ඔවුන් බාස්ල්, ස්ටාර්ස්බර්ග්, ලියෝන් වැනි නගරවල සහ යුරෝපයට අයත් වෙනත් නගරවල මුද්‍රණ කටයුතුවල නියැලුණා. කෝබජ ලතින් කෘති සහ විද්‍යාවට අදාළ පොත් ප්‍රකාශයට පත් කළා. ඔහු විවිධ විෂයන්වලින් යුත් පොත් වර්ග 236ක් මුද්‍රණය කළ අතර ඉන් ඇතැම් පොත්වල පිටු 100කට අධික ප්‍රමාණයක් ඇතුළත් වුණා. කොහොමවුණත් ඔහු සතුව තිබූ මුද්‍රණ යන්ත්‍රවලින් වරකට මුද්‍රණය කළ හැකි වූයේ එක් පොතක් පමණයි.

කෝබජ මුද්‍රණය කළ පොත්වල අකුරු ඉතා පැහැදිලි වූ නිසාත් සිත් ගන්නා පෙනුමක් තිබුණු නිසාත් මිනිසුන් අතර ඒවා ප්‍රසිද්ධ වුණා. ආල්ෆ්‍රේට් බොඑකල් නම් ඉතිහාසඥයා කෝබජ ගැන මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “මුද්‍රණය සඳහා කෝබජ භාවිත කළේ අලුතින් සෑදූ මෙන්ම හොඳ තත්වයක තිබුණු ලෝහ අකුරු පමණයි. ඔහු කිසිවිටක කඩතොලු වූ ලෝහ අකුරු භාවිත කළේ නැහැ.” ඒ සියල්ලට අමතරව ඔහු මුද්‍රණය කළ පොත් සහ බයිබල් පිටපත්වල නොයෙක් පින්තූරුත් තිබුණා. ඒවා මුද්‍රණය කර තිබෙන්නේ ලී අච්චු යොදාගෙනයි.

කෝබජ “මුද්‍රණ කටයුතු ඇරඹූ කාලයේ පටන් බයිබලය ප්‍රකාශයට පත් කිරීමට ඔහු දැරූ උත්සාහය කැපී පෙනෙනවා” කියා ඔස්කාර් හාස නම් චරිත රචකයා සඳහන් කරනවා. කෝබජ සහ ඔහුගේ සහයකයන් උත්සාහ කළේ වඩාත් නිවැරදි බයිබල් අත්පිටපතක් ලබාගෙන එයින් බයිබල් පිටපත් මුද්‍රණය කිරීමටයි. නමුත් පැරණි අත්පිටපත් වටිනා සම්පත් ලෙස සැලකූ නිසා ඒවා ලබාගැනීම එතරම් පහසු වූයේ නැහැ. ඒ නිසා බයිබල් පිටපත් මුද්‍රණය කිරීමේ කාර්යය කෝබජට සහ ඔහුගේ සහයකයන්ට එතරම් ලෙහෙසි වුණේ නැහැ.

ලතින් සහ ජර්මානු භාෂාවලින් බයිබලය

කෝබජ ලතින් භාෂාවෙන් තිබූ බයිබලය කාණ්ඩ වශයෙන් 15වතාවක් මුද්‍රණය කළා. එහි මුල්ම සංස්කරණය මුද්‍රණය කරනු ලැබුවේ 1475දීයි. ඇතැම් සංස්කරණවල විවිධ පින්තූරු ඇතුළත් වූ අතර නෝවාගේ නැව, දස පනත සහ සලමොන් සෑදූ දෙවිගේ මාලිගාව ඒ අතරින් කිහිපයක් පමණයි. වර්ෂ 1483දී ඔහු ජර්මානු භාෂාවෙන්ද බයිබලය ප්‍රකාශයට පත් කළ අතර එහි පිටපත් 1,500ක් පමණ මුද්‍රණය කළා. එහි ලී අච්චු යොදාගෙන කරන ලද චිත්‍ර 100ට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණු නිසා කියවන අයට එයින් යම් දේවල් අවබෝධ කරගැනීමටත් අකුරු නොදන්නා අයට පින්තූරුවලින් යම් දේවල් අවබෝධ කරගැනීමටත් හැකි වුණා. කෝබජ බයිබලයට පින්තූරු ඇතුළත් කළ නිසා පසු කාලයේ ජර්මානු භාෂාවෙන් බයිබල් පිටපත් ප්‍රකාශයට පත් කළ අනික් අයත් ඒ දේම කළා.

වර්ෂ 1483දී කෝබජ ප්‍රකාශයට පත් කළ ජර්මානු බයිබලය ඉතා ප්‍රසිද්ධ වුණා. නමුත් කනගාටුදායක ලෙස ඔහුට ජර්මානු භාෂාවෙන් අවසන් වරට මුද්‍රණය කිරීමට ලැබුණේ ඒ බයිබල් සංස්කරණය පමණයි. කෝබජ සමඟ වැඩ කළ සංස්කාරකයන් එවකට පල්ලියෙන් අනුමත කර තිබූ ලතින් වල්ගේට් පරිවර්තනයේ වචන යොදාගෙන ජර්මානු බයිබලය සකස් කළා. කොහොමවුණත් ඔවුන් ප්‍රකාශයට පත් කළ එම ජර්මානු බයිබලය පදනම් වී තිබුණේ 14වන සියවසේදී තහනම් කරන ලද වොල්ඩෙන්සියන් බයිබල් පරිවර්තනය මතයි. * ඇත්තෙන්ම වොල්ඩෙන්සියන් ක්‍රිස්තියානි කණ්ඩායමේ සාමාජිකයන් සමඟ අටවන ඉනසන්ට් පාප්වරයා කොතරම් වෛරයකින් පසු වුණාද කියනවා නම් 1484දී ඔවුන්ව ඝාතනය කිරීමටත් ඔහු නියෝග කළා. කෝබජගේ බයිබල් ප්‍රකාශන වැඩ කටයුතුවලට තවදුරටත් බාධා පමුණුවමින් ජර්මනියේ අග්‍රබිෂොප්වරයා වූ බර්ට්හෝල්ඩ් 1485 මාර්තු 22වෙනිදා ජර්මානු භාෂාවෙන් බයිබලය ප්‍රකාශයට පත් කිරීම තහනම් කළා. වර්ෂ 1486 ජනවාරි හතරවෙනිදා ඒ බිෂොප්වරයා එම තහනම නැවතත් ස්ථාපිත කළා. බයිබලය පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් එවැනි දැඩි විරෝධතා පැනනැඟුණු නිසා කෝබජ ජර්මානු භාෂාවෙන් බයිබල් ප්‍රකාශයට පත් කිරීම අත්හැර දැමුවා.

කොහොමවුණත් මුද්‍රණ ශිල්පියෙකු ලෙස ආන්ටොන් කෝබජ කළ සේවය අපතේ ගියේ නැහැ. එවකට ලොවට අලුත් දෙයක් වී තිබූ මුද්‍රණ කලාව යොදාගෙන විවිධ පොත් මුද්‍රණය කිරීමේ පුරෝගාමියෙකු හැටියට කෝබජව හැඳින්විය හැකියි. ඔහුගේ උත්සාහය නිසා යුරෝපයේ සිටි අයට පොතපත කියවන්න අවස්ථාව සැලසුණා. ඊට අමතරව කෝබජ නිසා සාමාන්‍ය ජනයාට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්නත් අවස්ථාව ලැබුණා.

[පාදසටහන]

^ 11 ඡේ. වර්ෂ 2002 මාර්තු 15 මුරටැඹ කලාපයේ “වොල්ඩෙන්සෙස් මිථ්‍යාග්‍රාහකයන්ගේ සිට රෙපරමාදු භක්තිකයන් දක්වා ගමන” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.

[26වන පිටුවේ පින්තූර]

වමේ සිට දකුණට. ලී අච්චුවෙන් කර තිබෙන සිංහ ගුහාවේ සිටින දානියෙල්ව දැක්වෙන පින්තූරය; විශේෂිත ලොකු අකුරු ශෛලිය; කඩතොලු නොවූ ලෝහ අකුරු යොදාගෙන කර තිබෙන මුද්‍රණය

[26වන පිටුවේ පින්තූරය]

ආන්ටොන් කෝබජ

[26වන පිටුවේ පින්තූර]

කෝබජ ප්‍රකාශයට පත් කළ ලතින් සහ ජර්මානු බයිබල්වල දැක්වෙන නොයෙක් හැඩතල සහ උත්පත්ති 1:1 සම්බන්ධයෙන් ඇති විස්තරය

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All Bible photos: Courtesy American Bible Society Library; Koberger: Mit freundlicher Genehmigung der Linotype GmbH