Skip to content

පටුනට යන්න

ඔබවම රවටාගන්න එපා

ඔබවම රවටාගන්න එපා

ඔබවම රවටාගන්න එපා

දොන් කීහෝටි ගැන ඔබ අසා තිබෙනවාද? ඔහු 16වන සියවසේ සිටි ස්පාඤ්ඤ කර්තෘවරයෙක් වූ මිගෙල් ඩි සෙර්වැන්ටෙස් රචනා කළ කෘතියක සිටි මනඃකල්පිත කවට චරිතයක්. එම කෘතියේ දොන් කීහෝටිව විස්තර කර තිබෙන්නේ වීර නයිට්වරුන් සම්බන්ධයෙන් තිබූ ජනප්‍රවාද හොඳින්ම දැන සිටි කෙනෙකු ලෙසයි. පසු කාලයකදී ඔහු තමාවම නයිට්වරයෙක් ලෙස සැලකීමට පටන්ගත්තා. එම කෘතියේ එක් කොටසක පෙන්නුම් කරන ආකාරයට ඔහු දරුණු යෝධයන් පිරිසක් සමඟ සටන් කරනවා කියා සිතාගෙන සුළං මෝල කිහිපයක් සමඟ සටන් කර තිබෙනවා. ඔහු සිතුවේ යෝධයන් ලෙස පෙනුණු සුළං මෝල සමඟ සටන් කිරීමෙන් ඔහු දෙවිගේ කැමැත්ත ඉටු කරනවා කියායි. අවසානයේදී ඔහු මහත් ලැජ්ජාවට පත් වුණා.

මනඃකල්පිත චරිතයක් වූ දොන් කීහෝටි තමන් නයිට්වරයෙක් යැයි සිතමින් තමාවම රවටාගත්තා. නමුත් කනගාටුවට කරුණක් වන්නේ සැබෑ ජීවිතයේත් මිනිසුන් තමන්වම රවටාගැනීමයි. උදාහරණයකට අධික ලෙස මත්පැන් පානය කරන කෙනෙක් ගැන සිතන්න. ඉන් තමන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ කියා සිතමින් ඔහු තමන්වම රවටාගත්තත් අවසානයේදී එය ඔහුගේ සෞඛ්‍යයටත් පවුල් ජීවිතයටත් අහිතකර ලෙස බලපානවා.

එලෙස තමන්වම රවටාගැනීමේ උගුලට අපිත් හසු විය හැකිද? ඇත්තෙන්ම ඔව්. උදාහරණයකට ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් අප අපවම රවටාගැනීමට ඉඩ තිබෙනවා. එවැනි දෙයක් සිදු විය හැක්කේ කෙසේද? ඉන් ආරක්ෂා වීමට කළ හැක්කේ කුමක්ද?

අපවම රවටාගැනීමේ භයානක ප්‍රතිඵල

එක් ශබ්දකෝෂයක විස්තර කර තිබෙන ආකාරයට කෙනෙකුව රැවටීම යනු “අසත්‍ය වූ දෙයක් සත්‍යයි කියා විශ්වාස කිරීමට සැලැස්වීමයි.” කෙනෙකුව රැවටීමට, නොමඟ යැවීමට හෝ මුළා කිරීමට ඉතා සූක්ෂ්ම ක්‍රම යොදාගනු ලබනවා. එලෙස රැවටුණු කෙනෙකුගෙන් යම් දේවල් වසන් කර තිබෙන අතර ඒ නිසා ඔහු “ව්‍යාකූල මෙන්ම අසරණ තත්වයට” පත් වෙනවා. ඇත්තෙන්ම එවැනි කෙනෙක් සිටින්නේ භයානක තත්වයකයි.

වැරදි විශ්වාසයන් නිසා රැවටී සිටින අය බොහෝවිට තමන් රැවටී සිටින බව පිළිගන්නේ නැහැ. ඇතැම්විට ප්‍රබල සාක්ෂි තිබුණත් තමන් විශ්වාස කරන දේ වැරදියි කියා පිළිගැනීමට ඔවුන් කැමති නැහැ. එවැනි විශ්වාසයන්ට ඔවුන් කොතරම් ඇලුම් කරනවාද කියනවා නම් ඊට විරුද්ධව තිබෙන සෑම සාක්ෂියක්ම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. එය කොතරම් කණගාටුදායක තත්වයක්ද!

අපි අනතුරේද?

“බොරුවේ පියා” වන යක්ෂයා සත්‍ය නොවන ආගමික විශ්වාසයන් යොදාගෙන අපි සියලුදෙනාවම නොමඟ යැවීමට දැඩි උත්සාහයක් දරනවා. (යොහන් 8:44) බයිබලයේ යක්ෂයාව මිනිසුන්ගේ ‘මනස් අන්ධ කරන මේ සමාජයේ දෙවියා’ ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (2 කොරින්ති 4:4) එමෙන්ම මේ කාලයේදී යක්ෂයා “මුළු පොළොවම නොමඟ යවන” බවත් එහි සඳහන් වෙනවා.—එළිදරව් 12:9.

යක්ෂයා මිනිසුන්ව රැවටීමට පටන්ගත්තේ මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීමයි. ඔහු එය කළේ දෙවිගේ නීතිවලට යටත් විය යුතු නැහැ කියා ඇඟවීමෙන් සහ “හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන” විය හැකියි කියා මුල් ස්ත්‍රිය වූ ඒවට පැවසීමෙනුයි. වෙනත් විදිහකින් පවසනවා නම් යක්ෂයා ඒවට කියා සිටියේ දෙවිගේ මඟ පෙන්වීමක් නොමැතිව හරි වැරැද්ද කුමක්ද කියා ඇයට තීරණය කිරීමට හැකි බවයි. (උත්පත්ති 3:1-5) මිනිස් ඉතිහාසයේ සිදු වූ මුල්ම රැවටීම එයයි. හරි වැරැද්ද කුමක්ද කියා තීරණය කිරීමේ හැකියාව දෙවි මිනිසුන්ට ලබා දුන්නේ නැහැ. එය තීරණය කිරීමට අයිතිය සහ හැකියාව තිබෙන්නේ මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවිට පමණයි. (යෙරෙමියා 10:23; එළිදරව් 4:11) ඒ නිසා හරි වැරැද්ද කුමක්ද කියා තීරණය කිරීමට මිනිසුන්ට හැකියාව තිබෙනවා කියා විශ්වාස කරන කෙනෙක් තමාවම රවටාගන්නවා.

ඔබත් රැවටෙයිද?

ඔබ මහත් ගෞරවයෙන් සලකන ඔබේ ආගමික විශ්වාසයන් සියවස් ගණනාවක් පුරා පැවත එන ඒවා විය හැකියි. නමුත් ඒ නිසාම ඒවා නිවැරදියි කියා පවසන්න බැහැ. ඊට හේතුව කුමක්ද? බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් මිය ගිය පසුව වංචනික මිනිසුන් ක්‍රිස්තියානි සභාව තුළ නැඟී සිටිමින් සත්‍යය විකෘති කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ ‘ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමටයි.’ (ක්‍රියා 20:29, 30) ඔවුන් ඉතා දක්ෂ ලෙස “මුළා කරවනසුලු තර්කවලින්” සහ “මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්” යොදාගෙන මිනිසුන්ව නොමඟ යැව්වා.—කොලොස්සි 2:4, 8.

අද සිදු වන්නේත් ඒ දෙයමයි. බයිබලයේ සඳහන් වන ආකාරයට අප ජීවත් වන මේ “අවසාන කාලයේදී” වංචනික මිනිසුන් හැකි උපරිමයෙන් මිනිසුන්ව නොමඟ යවනවා. බයිබලයේ මෙසේ සඳහන් වෙන්නේ ඒ නිසයි. “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙමින් අනුන්ව නොමඟ යවන අතර ඔවුහුද නොමඟ යනු ඇත.”—2 තිමෝති 3:1, 13.

ඒ නිසා අපි බයිබලයේ සඳහන් මෙම උපදෙස හොඳින් සිතට ගත යුතුයි. “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි.” (1 කොරින්ති 10:12) යක්ෂයාට කිසි දිනක අපව නොමඟ යැවීමට බැහැ කියා සිතුවොත් එය අපවම රවටාගැනීමක් වෙනවා. ඊට හේතුව “යක්ෂයාගේ උපායන්වලට” අපෙන් ඕනෑම කෙනෙක් හසු වීමට ඉඩ තිබීමයි. (එෆීස 6:11) බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “සර්පයා කපටිකමින් ඒවව නොමඟ යැවූ අයුරින්ම ඔබවත් නොමඟ යවයිද කියා මම බියෙන් සිටිමි. එසේ වුණොත් ඔබේ මනස් දූෂ්‍ය වී ක්‍රිස්තුස්ට පෙන්විය යුතු ඔබේ අවංකකම සහ නිර්මලකම නැති වී යෑමට පුළුවන.”—2 කොරින්ති 11:3.

නොරැවටී සිටිය හැකි ආකාරය

යක්ෂයාගේ රැවටීම්වලට හසු නොවී සිටීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද? එමෙන්ම දෙවි “ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” නමස්කාර කිරීමට ඔබට හැක්කේ කෙසේද? (යොහන් 4:24) ඒ සඳහා යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන “වටහාගැනීමේ හැකියාව” භාවිත කරන්න. එවිට සත්‍යය සහ අසත්‍යය කුමක්ද කියා හඳුනාගැනීමට ඔබට හැකි වෙනවා. (1 යොහන් 5:20) ඊට අමතරව යක්ෂයාගේ සෑම දුෂ්ට උපායක් ගැනම දෙවි ඔබව දැනුවත් කර තිබෙනවා. ඒ නිසා ඔහුගේ උපායන්වලට නොරැවටී සිටීමට ඔබට හැකියි. (2 කොරින්ති 2:11) ඇත්තෙන්ම ඔබව රැවටීම සඳහා යක්ෂයා යොදාගන්නා සෑම උපායකටම හොඳින් මුහුණ දීමට ඔබට අවශ්‍ය සියලුම දේ දෙවි ලබා දී තිබෙනවා.—හිතෝපදේශ 3:1-6; එෆීස 6:10-18.

යක්ෂයාගේ රැවටිලිකාර උපායන්ගෙන් ආරක්ෂා වීමට යෙහෝවා දෙවි තවත් වටිනා දෙයක් ඔබට දී තිබෙනවා. ඒ ශුද්ධ බයිබලයයි. ආගමික විශ්වාසයන් හා සම්බන්ධ කාරණාවල සත්‍යය හා අසත්‍යය තේරුම්ගැනීමට බයිබලය මහඟු උපකාරයක්. ඒ නිසා අපි දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවී තිබෙන “ශුද්ධ ලියවිල්ල” ගැන මනා අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්.—2 තිමෝති 3:15.

කොහොමවුණත් දෙවිව විශ්වාස කරමින් බයිබලය ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් බව පිළිගන්නා අය නොමඟ ගොස් තිබෙනවා කියා ඇතැම් අය පැවසිය හැකියි. නමුත් ඇත්තටම නොමඟ ගොස් සිටින්නේ දෙවි කෙනෙකු සිටින බවට තිබෙන සාක්ෂි ප්‍රතික්ෂේප කරමින් බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් බව පිළි නොගන්නා අයයි. *රෝම 1:18-25; 2 තිමෝති 3:16, 17; 2 පේතෘස් 1:19-21.

‘බොරු දැනුමෙන්’ නොරැවටී දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලය ඇසුරෙන් සත්‍යය කුමක්ද කියා තහවුරු කරගන්න. (1 තිමෝති 6:20, 21) අතීතයේ බෙරීය නම් නුවරේ සිටි වැසියන් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඔවුන් පුළුල්ව සිතීමට පුරුදු වී සිටි නිසා ‘තමන් ඇසූ දේවල් සැබෑද කියා බැලීමට දිනපතාම ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළා.’ ඒ නිසා ඔවුන් මහත් උනන්දුවකින් දෙවිගේ පණිවිඩය පිළිගත්තා.—ක්‍රියා 17:11.

ඔබේ ආගමික විශ්වාසයන් බයිබලයට එකඟද කියා පරීක්ෂා කර බැලීමට පසුබට වෙන්න එපා. බයිබලයේ අපව දිරිගන්වා තිබෙන්නේ “සෑම දෙයක්ම සෝදිසි කර බලා” පසුව නිවැරදි දෙය විශ්වාස කරන්න කියායි. (1 තෙසලෝනික 5:21) එමෙන්ම බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “දෙවිගෙන් ලැබූ බවට පවසන සෑම පණිවිඩයක්ම විශ්වාස නොකරන්න. එම පණිවිඩ ඇත්තටම පැමිණෙන්නේ දෙවිගෙන්ද කියා සෝදිසි කර බලන්න.” (1 යොහන් 4:1) ඒ නිසා යම් ආගමික ඉගැන්වීමක් ‘දෙවිගෙන් ලැබී’ ඇති දෙයක් ලෙස දක්නට ලැබුණත් එය පිළිගැනීමට කලින් එය බයිබලයට එකඟද කියා හොඳින් සෝදිසි කර බැලීම ඉතා වැදගත්.—යොහන් 8:31, 32.

ඉගෙනගත් දේ පිළිපදින්න

සත්‍යය කුමක්ද කියා හරිහැටි අවබෝධ කරගැනීමෙන් පසුව අපි කළ යුතු තවත් වැදගත් දෙයක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “සවන් දෙන්නන් පමණක් නොවන්න. ඒ වෙනුවට දෙවිගේ වදන් පිළිපදින්නන් බවට පත් වන්න.” (යාකොබ් 1:22) ඒ වදන්වලට අනුව බයිබලයේ සඳහන් දේවල් දැනගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ බයිබලයෙන් ඉගෙනගන්නා දේවල් පිළිපැදීමටත් උත්සාහ කළ යුතුයි. එය කළ හැක්කේ දෙවි කැමති දේවල් කිරීමෙන් සහ අකමැති දේවල් නොකර සිටීමෙනුයි.

අද සමාජයේ සිටින මිනිසුන් කොතරම් පහත් ලෙස හැසිරෙනවාද කියා මොහොතකට සිතන්න. මිනිසුන් කිසිම බියක් සැකක් නැතුව වැරදි කරනවා. ඔවුන් එසේ කරන්නේ දෙවිගේ නීති කඩ කිරීමෙන් තමන්ට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ කියා සිතීමට යක්ෂයා ඔවුන්ව පොලඹවා තිබෙන නිසයි. එය මොන තරම් රැවටීමක්ද කියා බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “මුළා නොවන්න. දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන. මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

යේසුස් එක අවස්ථාවකදී වැලි මත නිවසක් ගොඩනැඟූ මිනිසෙක් ගැනත් පර්වතයක් මත නිවසක් ගොඩනැඟූ මිනිසෙක් ගැනත් උපමාවක් පැවසුවා. ඒ උපමාවේ සඳහන් වැලි මත නිවස ගොඩනැඟූ මිනිසාගෙන් නියෝජනය වන්නේ යේසුස්ගේ ඉගැන්වීම් අසා ඒවා පිළිපදින්නේ නැති අයවයි. වැලි මත ශක්තිමත් නිවසක් ගොඩනැඟිය හැකියි කියා සිතමින් තමන්වම රවටාගත් ඔහු වැලි මත තම නිවස ගොඩනැඟුවා. අවසානයේදී එම නිවස කඩා වැටුණා. නමුත් එම උපමාවේ සඳහන් පර්වතය මත තම නිවස ගොඩනැඟූ මිනිසා කටයුතු කළේ ඊට වඩා වෙනස් ආකාරයටයි. ඒ මිනිසාගෙන් නියෝජනය වන්නේ යේසුස්ගේ ඉගැන්වීම් අසා ඒවා පිළිපදින අයවයි. යේසුස් එම පුද්ගලයාව හැඳින්වූයේ “නුවණැති” කෙනෙක් ලෙසයි. ඒ නිසා පර්වතය මත තම නිවස ගොඩනැඟූ ‘නුවණැති මිනිසා’ මෙන් වීමට ඔබත් වෑයම් කරන්න.—මතෙව් 7:24-27.

[පාදසටහන]

^ 18 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද යන පොත සහ ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන The Bible—God’s Word or Man’s නමැති පොත බලන්න.

[12, 13වන වන පිටුවල කොටුව⁄පින්තූරය]

ඔබ විශ්වාස කරන දේ නිවැරදිද?

වම් පසින් තිබෙන රූපය දෙස හොඳින් බලන්න. බැලූ බැල්මට ඔබට එය ඝනකයක් ලෙස පෙනිය හැකියි. නමුත් ඇත්තටම එය ඝනකයක් නොවෙයි. එම රූපය ඇඳ තිබෙන චිත්‍ර ශිල්පියා එය ඇඳ තිබෙන්නේ ඒ දෙස බලන කෙනෙකුගේ ඇස් සහ මනස රැවටෙන ආකාරයටයි.

එවැනි රූපවලට අමතරව අප රැවටිය හැකි තවත් දේවල්ද තිබෙනවා. පළමු සියවසේ සිටි බයිබල් ලේඛකයෙක් වූ පාවුල් මෙසේ අනතුරු ඇඟවූයේ ඒ නිසයි. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.”—කොලොස්සි 2:8.

පාවුල් ඉහත සඳහන් දේ වාර්තා කිරීමට කලින් ඔහුත් කාලයක් පුරා රැවටී සිටියා. නමුත් ඔහු එවකට සිටි ඉතා ප්‍රසිද්ධ ගුරුවරයෙක් යටතේ අධ්‍යාපනය ලබා තිබූ නිසාත් දැන උගත් අයව කිට්ටුවෙන් ඇසුරු කළ නිසාත් ඔහු වැනි කෙනෙක් රැවටෙයිද කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔහුට සිදු වුණේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.—ක්‍රියා 22:3.

පාවුල් කාලයක් පුරා විශ්වාස කළේ ඔහුගේ ආගමික විශ්වාසයන් සහ චාරිත්‍ර පිළිගන්නේ නැති අයව හෙළා දැකිය යුතුයි කියායි. එමනිසා යුදෙව් ආගමික නායකයන්ගේ අනුග්‍රහය ඇතුව ඔහු එවකට සිටි ක්‍රිස්තියානීන්ට දැඩි ලෙස පීඩා කළා. ඔහු කොතරම් නොමඟ ගොස් සිටියාද කියනවා නම් ඔහු සිතුවේ ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම දෙවි අනුමත කළ බවයි. එක අවස්ථාවකදී දෙවිට අපහාස කළා යන බොරු චෝදනාව මත ඔහුගේ නගරයේ ජීවත් වූ කෙනෙකුව මරා දැමීමටත් ඔහු හවුල් වුණා.—ක්‍රියා 22:4, 5, 20.

කොහොමවුණත් කාලයක් යන විට ඔහු විශ්වාස කරමින් සිටි දේවල් කොතරම් දුරට වැරදිද කියා ඔහු තේරුම්ගත්තා. ඒ නිසා දෙවි පිළිගන්නා දේවල් සහ දෙවි පිළිගන්නේ නැති දේවල් මොනවාද කියා ඔහු දැනගත්තා. ඉන්පසු ඔහු ඉක්මනින්ම තම ජීවිතය වෙනස් කරගෙන යේසුස්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා. එසේ කාලයක් පුරා රැවටී සිටි පාවුල් දෙවිගේ අනුමැතිය ලැබෙන නමස්කාරය කුමක්ද කියා තේරුම්ගත්තා.—ක්‍රියා 22:6-16; රෝම 1:1.

පාවුල් හා සමානව කාලයක් පුරා වැරදි ආගමික විශ්වාසයන් නිසා රැවටී සිටි බොහෝදෙනෙක් බයිබලයේ සඳහන් දේවල් අධ්‍යයනය කිරීමෙන් පසු නිසි මඟට පැමිණ තිබෙනවා. (හිතෝපදේශ 14:12; රෝම 10:2, 3) ඔවුන්ට එසේ කිරීමට හැකි වී තිබෙන්නේ තමන් අදහන ආගමේ විශ්වාසයන් සහ ඔවුන් ක්‍රියා කරන ආකාරය ගැන සැබෑව පැහැදිලි කර දීම නිසයි. (මතෙව් 7:15-20) බයිබලය අධ්‍යයනය කර සත්‍යය දැනගත් පසු එවැනි අය දෙවිගේ අනුමැතිය ලබාගැනීම සඳහා තම වැරදි විශ්වාසයන් අත් හැර දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වෙනවා.

බයිබලයට එකඟව ඔබේ ආගමික විශ්වාසයන් කොතරම් නිවැරදිද කියා දැනගන්න ඔබත් කැමතිද? ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Engravings by Doré