Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්ගේ ගෝලයන් 12දෙනාගෙන් ඇතැම් අය ඔහුගේ ඥාති සහෝදරයන්ද?

එම ප්‍රශ්නයට බයිබලයේ නිශ්චිත පිළිතුරක් සඳහන් වී නැහැ. නමුත් ඇතැම් තොරතුරු සහ සම්ප්‍රදායික විශ්වාසයන් මත ගෝලයන් 12දෙනාගෙන් සමහරු යේසුස්ගේ ඥාති සහෝදරයන් බව පෙනී යනවා.

යේසුස්ව වධකණුවේ ඇණ ගසා තිබුණු අවස්ථාවේ ඒ අසල ‘ඔහුගේ මව, [එනම් මරියා] ඔහුගේ මවගේ සහෝදරිය, ක්ලෝපස්ගේ භාර්යාව වූ මරියා සහ මරියා මග්දලේනා යන අය සිටගෙන සිටියා’ කියා යොහන් පොතේ සඳහන් වෙනවා. (යොහන් 19:25) ඒ සිද්ධියම මතෙව් සහ මාක් පොත්වලත් සඳහන් වී තිබෙන අතර එහි ‘සලෝමි’ සහ ‘සෙබදීගේ පුත්‍රයන්ගේ මව’ කියා හඳුන්වා ඇත්තේ යේසුස්ගේ මවගේ සහෝදරිය කියා නිගමනය කළ හැකියි. (මතෙව් 27:55, 56; මාක් 15:40) ඒ නිගමනය නිවැරදි නම් සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා වන යාකොබ් සහ යොහන්, යේසුස්ගේ ඥාති සහෝදරයන් වෙනවා. ධීවර කර්මාන්තයේ නිරත වී සිටි ඒ සහෝදරයන් දෙදෙනාට තමාගේ අනුගාමිකයන් වන්න කියා යේසුස් ආරාධනා කළා.—මතෙව් 4:21, 22.

බයිබලයට පිටින් ඇති මූලාශ්‍රවල ඉහත සඳහන් කළ මරියාගේ ස්වාමිපුරුෂයා වූ ක්ලෝපස්ව හඳුන්වා තිබෙන්නේ යේසුස්ගේ පියා වූ යෝසෙප්ගේ සහෝදරයා ලෙසයි. එය නිවැරදි නම් යේසුස්ගේ ගෝලයෙකු වූ ක්ලෝපස් හෙවත් අල්ෆෙවුස්ගේ පුතා වූ යාකොබ් යේසුස්ගේ ඥාති සහෝදරයෙක් වෙනවා.—මතෙව් 10:3.

යේසුස් සහ මිනිසුන්ව බව්තීස්ම කළ යොහන් අතර තිබුණු නෑකම කුමක්ද?

ඇතැම් බයිබල් පරිවර්තනවල මරියාව විස්තර කර තිබෙන්නේ එලිසබෙත්ගේ ඥාති සහෝදරියක් ලෙසයි. (ලූක් 1:36) ඒ නිසා යේසුස්ගේ මව වූ මරියා සහ යොහන්ගේ මව වූ එලිසබෙත් ඥාති සහෝදරියන් කියා බොහෝ අය විශ්වාස කරනවා. යේසුස් සහ යොහන් අතර කිට්ටු නෑකමක් තිබෙනවා යන විශ්වාසය ඇති වී තිබෙන්නේ ඒ නිසයි. නමුත් ඇත්තෙන්ම මරියා සහ එලිසබෙත් ඥාති සහෝදරියන්ද?

මරියා සහ එලිසබෙත් අතර තිබෙන නෑකම විස්තර කිරීමට යොදාගෙන තිබෙන ග්‍රීක වචනයෙන් ඔවුන් ඥාති සහෝදරියන් කියා අදහස් වෙන්නේ නැහැ. එක් ශබ්දකෝෂයක සඳහන් වෙන්නේ “ඒ ග්‍රීක වචනයට පුළුල් අර්ථයක් තිබෙන නිසා එය නිශ්චිතවම ඥාති සබඳතාවකට යොමු දක්වනවා කියා පවසන්න බැහැ” කියායි. (The Interpreter’s Dictionary of the Bible) කතෝලික විශ්වකෝෂයේ සඳහන් වෙන ආකාරයට ‘මරියාගේ දෙමාපියන් ගැන ඇති සියලුම තොරතුරු පදනම් වී තිබෙන්නේ බයිබලය මත නොව වෙනත් ව්‍යාජ ලියවිලි මතයි.’

ඒ අනුව බලන විට යේසුස් සහ යොහන් අතර නෑකමක් තිබුණත් එය ඉතා කිට්ටු නෑකමක් කියා පවසන්න නිශ්චිත පදනමක් නැහැ.