Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි ‘ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන’ බව මම අද්දැක්කා

යෙහෝවා දෙවි ‘ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන’ බව මම අද්දැක්කා

යෙහෝවා දෙවි ‘ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන’ බව මම අද්දැක්කා

මොරිස් රාජ්

දෙවන ලෝක මහා යුද්ධයෙන් ජීවිතය බේරාගන්න පලා ගිය මිනිසුන් දහස් සංඛ්‍යාවක් අතරේ මමත් මගේ පවුලේ අයත් හිටියා. දවස් ගණනාවක් පුරා ගන කැලෑ මැදින් ගිය අපි රෑ නිදාගත්තේ ගස් යටයි. එතකොට මට වයස අවුරුදු නවයයි. පිටේ එල්ලගෙන ගිය බඩු පොට්ටනිය ඇර මා ළඟ වෙන මොකුත් තිබුණේ නැහැ.

වර්ෂ 1942දී දෙවන ලෝක මහා යුද්ධය අතරතුර ජපන් හමුදාව මියන්මාරය ආක්‍රමණය කළා. ඒ වෙනකොට ඔවුන් තෙල් ළිං තිබුණු ප්‍රදේශ අත් පත් කරගෙනයි තිබුණේ. ජීවිතය බේරගන්න අපි පලා ගියත් ඉන්දියානු දේශ සීමාවට ළං වෙන්නත් කලින් ජපන් හමුදාව අපිව අල්ලගෙන බලෙන්ම ආයෙත් ගෙවල්වලට හරවලා යැව්වා.

මගේ ළමා විය ගෙවුණේ යෙනෑන්ජාන්ග් කියන නගරයේයි. අපේ තාත්තා රැකියාව කළේ ඒ නගරයේ තිබුණු තෙල් සංස්ථාවෙයි. කොහොමවුණත් දෙවන ලෝක මහා යුද්ධය අතරතුර ජපන් හමුදාව ඒ නගරයේ තිබුණු තෙල් ළිං අල්ලගත්තා. ඊටපස්සේ බ්‍රිතාන්‍ය හමුදාව ගුවනින් ඇවිත් හතර වටේටම බෝම්බ දැම්මා. අපේ මුළු පවුලම දවස් තුනක් තිස්සේ අගලක් ඇතුළේ හැංගිලා හිටියා. අන්තිමේදී අපි බෝට්ටුවකින් ඉරවඩි ගඟ කිට්ටුව තිබුණු සලේ කියන නගරයට ගියා. යුද්දේ ඉවර වෙන කල් අපි එහේ තමයි හිටියේ.

පීඩා නිසා සත්‍යය ලැබී

වර්ෂ 1945දී අපේ පවුලට අලුත් කෙනෙක් එකතු වුණා. ඒ මගේ මල්ලි. මහලු වියේදී පුතෙක් ලැබුණු එක ගැන මගේ තාත්තා හිටියේ හුඟක් සතුටින්. ඒත් ඒ සතුට වැඩි කල් තිබුණේ නැහැ. මගේ මල්ලි මාස තුනකින් මිය ගියා. තාත්තා ඒ ගැන කොච්චර දුක් වුණාද කියනවා නම් වැඩි කල් යන්න කලින් තාත්තත් මිය ගියා.

මාව සනසවන්න හිතාගෙන මගේ යාළුවෝ කිව්වේ දෙවියන් එක්ක ජීවත් වෙන්න මගේ තාත්තවයි මල්ලිවයි ස්වර්ගෙට ගත්තා කියලයි. අපිට උගන්නලා තිබුණේ පූජකයන්ටයි කන්‍යා සොහොයුරියන්ටයි කිසිම ප්‍රශ්නයක් නැතුව කෙළින්ම ස්වර්ගෙට යන්න පුළුවන් කියලයි. ඒත් සාමාන්‍ය මිනිසුන් ස්වර්ගෙට යන්නේ ශුද්ධගිනිස්ථානයට ගිහින් ටික කාලෙකට දුක් විඳලා පව් මකාගත්තාට පස්සෙයි කියලත් අපිට උගන්නලා තිබුණා. ස්වර්ගෙට ගිහින් තාත්තයි මල්ලියි එක්ක ඉන්න මට ලොකු ආශාවක් තිබුණු නිසා කිලෝමීටර් 210ක් විතර ඈතින් තිබුණු සෙමනේරියකට ගිහින් පූජකයෙක් වෙන්න මම හිතාගත්තා.

ඒත් මම ඉස්කෝලේ ගියේ අවුරුදු දෙකක් විතරයි. ඒ නිසා සෙමනේරියකට යන්න තරම් අධ්‍යාපන සුදුසුකම් මට තිබුණේ නැහැ. යුද්දේ තිබුණු කාලේ හැම ඉස්කෝලයක්ම වැහුවා. යුද්දෙන් පස්සේ ළමයි ඉස්කෝලේ යන්න පටන්ගත්තත් ආර්ථික ප්‍රශ්න නිසා මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙන කොට පුංචි අම්මා මිය ගිහින් හිටිය නිසා එයාගේ දරුවෝ තුන්දෙනාවත් බලාගත්තේ අපේ අම්මා. ඒ නිසා මාවයි අයියලා දෙන්නාවයි ඉස්කෝලෙකට යවන්න තරම් වත්කමක් අම්මට තිබුණේ නැහැ.

මගේ ලොකු අයියා රස්සාවක් කරන්න පටන්ගන්න කොට මට අවුරුදු 13යි. මම ගෙදරට වෙලා හිටියොත් ඒක මගේ පවුලට තවත් බරක් වෙයි කියලා හිතලා මම අපේ බාප්පලාගේ ගෙදර නතර වෙන්න ගියා. බාප්පගේ නම මැනුඑල් නේතන්.

බාප්පා සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම එහෙට ගියාට පස්සේ බාප්පා ටිකෙන් ටික මටත් බයිබලයේ තියෙන දේවල් කියලා දුන්නා. මුලින්ම මට කියලා දුන්නේ පරමණ්ඩලයේ යාච්ඤාව ගැනයි. ඒ යාච්ඤාවේ මෙහෙම සඳහන් වෙනවා. “ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.”—මතෙව් 6:9, 10, නව අනුවාදය.

ඒ යාච්ඤාවේ සඳහන් වෙන විදියට “දෙවිට නමක් තියෙනවා. ඒ නම තමයි යෙහෝවා” කියලා බාප්පා මට කිව්වා. ඊටපස්සේ බාප්පා ඒ නම බයිබලයෙන්ම පෙන්නුවා. ඒකෙන් පස්සේ මටත් බයිබලයේ තියෙන දේවල් දැනගන්න ලොකු ආශාවක් ඇති වුණා. ඒත් මම කියවන්න දැනගෙන හිටියේ නැහැ. අඩුම තරමින් මට දෙමළ භාෂාවවත් කියවන්න බැහැ. අනික මගේ බාප්පා ළඟ තිබුණේ ඉංග්‍රීසි බයිබලයක්. ඒත් අමාරුවෙන් හරි මම ටිකෙන් ටික බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තා. (මතෙව් 11:25, 26) එතකොට තමයි මම දැනගත්තේ මෙච්චර කල් මම විශ්වාස කළ හුඟක් දේවල් බයිබලයට පටහැනියි කියලා. අන්තිමේදී මම බාප්පා ළඟට ගිහින් කිව්වා “බාප්පේ, මේක තමයි හරි ආගම” කියලා.

වයස අවුරුදු 16දී විතර අනික් අයටත් බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මම කියලා දෙන්න පටන්ගත්තා. ඒ වෙන කොට මියන්මාරයේ හිටියේ සාක්ෂිකරුවන් 77දෙනෙක් විතරයි. පිටරටින් ඇවිත් මියන්මාරයේ යාගොන් නගරයේ සේවය කළ රොබර්ට් කර්ක් ටික දවසකට පස්සේ අපේ බාප්පාව මුණගැහෙන්න ආවා. මම කර්ක්ට කිව්වා යෙහෝවා දෙවිට සේවය කරන්න මගේ ජීවිතය කැප කළා කියලා. වර්ෂ 1949 දෙසැම්බර් 24වෙනිදා මම ඉරවඩි ගඟේ බව්තීස්ම වුණා.

බාධක ජය ගනිමින්

ඉක්මනින්ම මම රස්සාවක් හොයාගන්න මණ්ඩලේ කියන නගරයට ගියා. මගේ එකම ආශාව වුණේ කොහොමහරි පූර්ණකාලීනව දෙවිට සේවය කරන්නයි. ඒත් එක දවසක් මම පාපන්දු තරඟයක් නරඹමින් ඉන්න කොට එකපාරටම මාව බිමට වැටිලා ගැහෙන්න පටන්ගත්තා. මට හැදිලා තියෙන්නේ මීමැස්මොර රෝගයයි. ඒ නිසා සනීප වෙන කල් මට ගෙදර ගිහින් ඉන්න වුණා.

මීමැස්මොර රෝගය අවුරුදු අටක් තිස්සේ මට විටින් විට හැදුණා. මගේ තත්වේ ටිකක් සුව අතර හැරුණාට පස්සේ මට රස්සාවක් කරන්න පුළුවන් වුණා. පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න තිබුණු මගේ ආශාව ගැන අම්මා දැනගෙන හිටියා. ඒත් අම්මා මට නිතරම කිව්වේ මම අසනීපෙන් ඉන්න නිසා ඒ ආශාව අත්හැර ගන්න කියලයි. හැබැයි එක දවසක් මම අම්මාට මෙහෙම කිව්වා. “මට තවත් ඉන්න බැහැ. දැන් නම් දෙවිට පූර්ණකාලීනව සේවය කරන්නම ඕනේ. යෙහෝවා දෙවි මාව බලාගනියි.”

හිතුව විදිහටම 1957දී මම යාගොන් නගරයට ගිහින් පුරෝගාමි සේවය පටන්ගත්තා. ඊටපස්සේ 1958දී මට විශේෂ පුරෝගාමියෙක් විදිහට ඒ කියන්නේ හැම මාසෙකම පැය 150ක් දේශනා සේවයේ යෙදෙන කෙනෙක් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබුණා. පුදුමයකට වගේ අවුරුදු 50ක් යන කල්ම ඒ කියන්නේ 2007 වෙන කල්ම මීමැස්මොර රෝගය ආයෙත් මතු වුණේ නැහැ.

විශේෂ පුරෝගාමියෙක් විදිහට මම මුලින්ම සේවය කළේ යාගොන් නගරයේ ඉඳලා කිලෝමීටර් 110ක් විතර ඈතින් තිබුණු ගමකයි. ඒ ගමේ හිටිය අය බයිබලයේ තියෙන දේවල් දැනගන්න හුඟක් ආශාවෙන් හිටිය නිසා මායි, කර්කුයි එහෙට ගියාම ලොකු සෙනඟක් එතනට ආවා. ඒ අය අපෙන් හුඟක් ප්‍රශ්න ඇහුවා. අපි ඒවාට බයිබලයෙන්ම පිළිතුරු දුන්නා. වැඩි කල් යන්න කලින් කිහිපදෙනෙක් අපිත් එක්ක සේවයේ යන්නත් පටන්ගත්තා. දැන් ඒ ගමේ සාක්ෂිකරුවන් 150කටත් වඩා ඉන්නවා.

ඊටපස්සේ මට සංචාරක සේවකයෙක් හැටියට වැඩ කරන්න පැවරුමක් ලැබුණා. මට කරන්න තිබුණේ මියන්මාරය පුරා විසිරිලා හිටිය සාක්ෂිකරුවන්ව බලන්න ගිහින් ඔවුන්ව දිරිගන්වන එකයි. හුඟක් දුර බැහැර ප්‍රදේශවලටත් යන්න මට සිද්ධ වුණා. ඒ දවස්වල බඩු පැටෙව්ව ලොරිවල නැඟලා දූවිලි පිරුණු පාරවල්වල මම කිලෝමීටර් ගණන් ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කැලෑ මැදින් යන්න ගංගා හරහා යන්න වගේම කඳු තරණය කරන්නත් මට සිද්ධ වුණා. මට ඒ හැටි සවි ශක්තියක් නොතිබුණාට ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවිගේ බලයෙනුයි.—ෆිලිප්පි 4:13.

“භය වෙන්න එපා, යෙහෝවා දෙවි උදව් කරයි”

යාගොන් නගරයේ තිබුණු සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සේවය කරන්න එන්න කියලා 1962දී මට ආරාධනයක් ලැබුණා. එහෙට ගියාම කර්ක් මට සමහර දේවල් කියලා දුන්නා. ටික කාලයක් ඇතුළත මියන්මාරයට ඇවිල්ලා සේවය කරන විදේශිකයන්ට සති කිහිපයක් ඇතුළත රටෙන් පිට වෙන්න කියලා ආණ්ඩුව නියෝග කළා. ඊටපස්සේ ශාඛා කාර්යාලයේ වැඩකටයුතු බලාගන්න වුණේ මටයි.

‘ඒත් ඉගෙනගෙන නැති අද්දැකීම් නැති මං වගේ කෙනෙක් කොහොමද ඒක කරන්නේ’ කියලා මම කල්පනා කළා. මම ලොකු පීඩනයකින් ඉන්නවා කියලා දැක්ක වැඩිහිටි සහෝදරයන් මට මෙහෙම කිව්වා. “මොරිස් භය වෙන්න එපා, යෙහෝවා දෙවි උදව් කරයි. අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා.” ඒක මට ලොකු ශක්තියක් වුණා. මට සිද්ධ වුණා මියන්මාරයේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය ගැන සම්පූර්ණ වාර්තාවක් ලියලා ඒක ලෝක මූලස්ථානයට යවන්න. ඒකට මට තිබුණේ මාස කිහිපයක් විතරයි. ඒ වාර්තාව 1967 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතට ඇතුළත් කරන්න නියමිතව තිබුණා. එදා ඉඳලා අද දක්වා අවුරුදු 38ක් තිස්සේ ඒ වාර්තාව පිළියෙල කරන්නේ මමයි. කලින් කලට මියන්මාරයේ සිදු වුණු දේවල් ගැන හිතන කොට යෙහෝවා දෙවි අපේ වැඩකටයුතුවලට මඟ පෙන්වනවා කියන එක හොඳින්ම පැහැදිලි වෙනවා.

මියන්මාරයේ පුරවැසිභාවය ගන්න මම ඉල්ලුම් කළාම ඒකට චාට් 450ක් ඕනෙ වුණා. * මා ළඟ එච්චර සල්ලි තිබුණේ නැති නිසා මම ඒක කල් දැම්මා. ඒත් එක දවසක් මම කලින් වැඩ කළ ආයතනය ළඟින් යන කොට මගේ පරණ ස්වාමියා මාව දැකලා “රාජ් ඇවිල්ලා ඔයාගේ සල්ලි ටික ගන්න. මෙහෙන් අස් වෙලා ගිය දවසේ ඔයාට ඒක ගෙනියන්න අමතක වෙලා” කියලා කෑගහලා කිව්වා. ඉතින් මමත් ගිහින් මගේ අර්ථසාධක අරමුදල ගත්තා. එතන හරියටම චාට් 450ක් තිබුණා.

සල්ලි ටික අතට අරන් යන ගමන් චාට් 450කින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. ඒත් මට හරියටම ලැබුණේ පුරවැසිභාවය ගන්න ඕන කරන මුදලම නිසා ඒ වෙනුවෙන් ඒ මුදල යොදවනවාට දෙවි සතුටු වෙයි කියලා හිතලා මම එහෙම කළා. ඇත්තටම ඒක හුඟක් හොඳ තීරණයක්. මොකද රටේ පුරවැසිභාවය තියෙනවා නම් දිගටම මේ රටේ ඉන්න, රටේ ඕන තැනකට යන්න, සඟරා පොත් පත් පිටරටින් ගෙන්වාගන්න වගේම දේවසේවයට අදාළ වෙනත් වැඩකටයුතු කරන්න හුඟක් පහසුයි.

උතුරුකරයේ සමුළුව

වර්ෂ 1969දී මියන්මාරයේ උතුරුකරයේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු ඉතා සාර්ථකව සිදු වෙමින් තිබුණා. ඒ නිසා ඒ අවට නගරයක අපේ සමුළුව පවත්වන්න අපි තීරණය කළා. අපිට තිබුණු ලොකුම අභියෝගය වුණේ දකුණේ ඉන්න අපේ සහෝදර සහෝදරියන්ව ඒ සමුළුවට ගෙන්වාගන්න එකයි. ඒ නිසා අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඒ අයව ගෙන්වාගන්න දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් වෙනම දුම්රිය මැදිරි හයක් ඉල්ලුම් කළා. ඒ ඉල්ලීමට අනුමැතිය ලැබුණම අපි හුඟක් සතුටු වුණා.

සමුළුවට හැම දෙයක්ම සූදානම් කරලයි තිබුණේ. උතුරුකරයේ ඉඳලා එන අපේ අයව පිළිගන්න අපි හරි වෙලාවට දුම්රියපොළට ගියා. ඒ වෙලාවේ දුම්රිය ස්ථානාධිපතිට ලැබුණු විදුලි පණිවිඩයක් එයා අපේ අතට ගෙනත් දුන්නා. ඒකේ සඳහන් වුණේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන් කරගෙන තිබුණු මැදිරි හය දුම්රියෙන් ඉවත් කරන්න සිදු වී ඇත.” ස්ථානාධිපති අපිට කිව්වා ඒ මැදිරි හය අයින් කරලා තියෙන්නේ මැදිරි වැඩියෙන් තියෙන කොට දුම්රියට කඳුකරය හරහා යන්න බැරි නිසයි කියලා.

ඒ වෙලාවේ අපිට කරකියාගන්න දෙයක් නැති වුණා. අපි මුලින්ම හිතුවේ සමුළුව කල් දාන්න. ඒත් එහෙම කළොත් ආයෙත් සමහර දේවලට අවසරපත්‍ර ඉල්ලුම් කරන්න සිද්ධ වෙයි. ඒකටත් සති ගාණක් ගත වෙනවා. ඒ ගැන අපි යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් ඉන්නකොටම අපි මඟ බලාගෙන හිටිය දුම්රිය ආවා. අපි කවුරුත් නොහිතුව විදිහට මැදිරි හයක අපේ සහෝදර සහෝදරියන් පිරිලා ඉන්නවා අපි දැක්කා. ඒ වෙලාවේ අපිට ඇස් අදහාගන්න බැරුව ගියා. ඒ අය පුදුම සතුටකින් හිටිය විදිහ මට අද වගේ මතකයි. අපි ඇහුවා මොකද වුණේ කියලා. එතකොට එක් කෙනෙක් කිව්වා, “මැදිරි හයක් නම් අයින් කළා තමයි. ඒත් ඒ අපේ මැදිරි හය නෙවෙයි” කියලා.

හැටේ දශකයේ අවසානභාගයේ සහ හැත්තෑව දශකයේ මුල්භාගය අතර මියන්මාරයේ සාක්ෂිකරුවන්ගේ ගණන 600 කිට්ටු කළා. එය දෙගුණයක වර්ධනයක්. ඊටපස්සේ 1978දී අපේ ශාඛා කාර්යාලය වෙන තැනකට මාරු කළා. ඒක තට්ටු දෙකක ගොඩනැඟිල්ලක්. අවුරුදු 20කට පස්සේ මියන්මාරයේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 2,500 ඉක්මවා ගියා. ඒ නිසා අපේ ශාඛා කාර්යාලය තවත් ලොකු කරන්න සිද්ධ වුණා. දැන් අපිට නවාතැන් සහ කාර්යාල පහසුකම් තියෙන තට්ටු තුනක ගොඩනැඟිල්ලක් තියෙනවා. වර්ෂ 2000 ජනවාරි 22වෙනිදා ඒ අලුත් ගොඩනැඟිල්ල වෙනුවෙන් කැප කිරීමේ කතාව දෙන්න එක්සත් ජනපදයේ සිටින පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සහෝදර ජෝන් ඊ. බාර් ආවා.

දෙවිගේ ආශීර්වාද ගැන සිතමින්

යාගොන්වල තියෙන ශාඛා කාර්යාලයේ සහෝදර සහෝදරියන් 52දෙදෙනෙක් ස්වේච්ඡාවෙන් සේවය කරනවා. මේ රටේ සාක්ෂිකරුවන් 3,500ක් විතර ඉන්නවා. ඒ වගේම සාක්ෂිකරුවන්ගේ සභා සහ කණ්ඩායම් 74ක් තියෙනවා. මගේ අම්මත් 1969දී මිය යන්න කලින් සාක්ෂිකරුවෙක් වුණා. ඒ ගැන මට හුඟක් සතුටුයි.

ශාඛා කාර්යාලයේ පරිවර්තන අංශයේ වැඩ කරන්න 1960 ගණන්වල මියන්මාර ජාතික ඩෝරස් බා කියන සහෝදරිය ආවා. එයා කලින් පුරෝගාමියෙක් විදිහටත් සේවය කළා. ඒ වගේම 1959දී එයා 32වෙනි ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙලත් තියෙනවා. ඒ නිසා විදේශීය රටවලට ගිහින් සේවය කරන විදිහ ගැන එයාට හොඳ පුහුණුවක් තිබුණා. එයා යෙහෝවා දෙවිට හුඟක් ප්‍රේම කරන හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. ඒ වගේම එයා ලස්සනයි. ඒ නිසා මගේ හිත එයාට ඇදිලා ගියා. අපි දෙන්නා විවාහ වුණේ 1970දීයි. මේ වෙන කල්ම අපි එකිනෙකාටත් යෙහෝවා දෙවිටත් විශ්වාසවන්තව ඉන්නවා.

දශක පහකට වැඩි කාලයක් තිස්සේ යෙහෝවා දෙවි මේ රටේ දේශනා වැඩකටයුතු සාර්ථකව ඉටු කරන්න මැදිහත් වෙලා තියෙනවා කියලා මම අද්දැකීමෙන්ම දන්නවා. ඒ ගැන මම දෙවිට ප්‍රශංසා කරනවා. ඔහු ඇත්තටම ‘ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් කරන’ දෙවි කෙනෙක් බව මගේ ජීවිත කාලය පුරා සිදු වුණු දේවලින් මට හොඳටම පැහැදිලියි.—ගීතාවලිය 106:21.

[පාදසටහන]

^ 23 ඡේ. ඒ කාලයේ හැටියට ඇමරිකානු ඩොලර් 95ක් පමණ.

[27වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1957දී පමණ යාගොන්වල දේශනා සේවයේ හවුල් වෙමින්

[28වන පිටුවේ පින්තූරය]

හැත්තෑව දශකයේ අගභාගයේදී සාක්ෂිකරුවන්ගේ සමුළුවකට යන අතරවාරයේ

[29වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2000දී කැප කළ අපේ අලුත් ශාඛා කාර්යාලය

[29වන පිටුවේ පින්තූරය]

ඩෝරස් සමඟ

[29වන පිටුවේ පින්තූරය]

ඩෝරස් සමඟ දේශනා සේවයේ යන අවස්ථාවක්