Skip to content

පටුනට යන්න

ආදම් සහ ඒව පව් කරන බව දෙවි කලින්ම දැන සිටියාද?

ආදම් සහ ඒව පව් කරන බව දෙවි කලින්ම දැන සිටියාද?

ආදම් සහ ඒව පව් කරන බව දෙවි කලින්ම දැන සිටියාද?

යෙහෝවා දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබෙන හේතුව ගැන කතා කරන විට ආදම් සහ ඒව කළ වරද ගැන සඳහන් නොකරම බැහැ. මෙම විෂය ගැන කතා කරන විට බොහෝ අය තුළ මෙවැනි ප්‍රශ්නයක් මතු වෙනවා. ‘අනාගතයේ සිදු වන දේවල් ගැන දැනගැනීමට දෙවිට හැකියාව තිබෙන නිසා’ ආදම් සහ ඒව පව් කරයි කියා ඔහු දැනගෙන සිටියේ නැද්ද?

බොහෝ අය සිතන්නේ දෙවියන් ඒ ගැන කලින්ම දැනගෙන සිටියා කියායි. ඒ බව දැන දැනත් දෙවි ඔවුන්ව නිර්මාණය කළ නිසා ඉතිහාසයේ පටන් මිනිසුන් අද්දකින දුක් වේදනාවලට වග කිව යුත්තේ දෙවියන් කියා ඔවුන් පවසනවා. ඒ හේතුව නිසා ඔවුන් දෙවිව දකින්නේ ඉතා කුරිරු, අසාධාරණ ලෙස කටයුතු කරන, ප්‍රෝඩාකාරයෙක් ලෙසයි.

නමුත් ආදම් සහ ඒව පව් කරන බව ඇත්තටම දෙවි දැනගෙන සිටියාද? යෙහෝවා දෙවි සියලු දේ නිර්මාණය කර තිබෙන ආකාරය සහ ඔහුගේ ගතිලක්ෂණ ගැන බයිබලයෙන් තොරතුරු සලකා බැලීමෙන් අපට ඒ ප්‍රශ්නයට පිළිතුර දැනගත හැකියි.

‘සියල්ල ඉතා හොඳින් සාදා තිබුණා’

යෙහෝවා දෙවි මුල්ම මිනිස් යුවළ ඇතුළු සියලුම දේවල් නිර්මාණය කිරීමෙන් පසු ‘ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණු බව ඔහු දුටුවා.’ (උත්පත්ති 1:31) ඉන් පැහැදිලි වන්නේ ආදම් සහ ඒව තුළ කිසිම අඩුවක් නොතිබුණු බවයි. එමනිසා දෙවිගේ ප්‍රතිපත්ති රකිමින් ජීවත් වෙන්න ඔවුන්ට උපරිම හැකියාව තිබුණා. එමෙන්ම දෙවි ඔවුන් දෙදෙනාව නිර්මාණය කර තිබුණේ “ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.” (උත්පත්ති 1:27) එමනිසා ප්‍රඥාව, ප්‍රේමය, විශ්වාසවන්තකම, යුක්තිය සහ යහපත්කම වැනි යෙහෝවා දෙවි තුළ තිබෙන ගතිලක්ෂණ ඔවුන් දෙදෙනා තුළත් තිබුණා. ආදම් සහ ඒව එවැනි ගතිලක්ෂණ නිරතුරුවම විදහාපෙන්නුවා නම් ඉන් ඔවුන් දෙදෙනා ප්‍රයෝජන ලබන අතර යෙහෝවා දෙවිත් ඒ ගැන සතුටු වෙයි.

නමුත් දෙවිගේ ප්‍රතිපත්ති රකිනවාද නැත්නම් ඒවා කඩ කරනවාද කියා තීරණය කරන්න ඔවුන්ට අයිතිය තිබුණා. මන්ද දෙවි ඔවුන් දෙදෙනාව නිර්මාණය කළේ නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ඇතුවයි. එමෙන්ම කීකරුකම සහ ආදරය ඔවුන්ගෙන් බලෙන් ලබාගන්නත් දෙවි කැමති වුණේ නැහැ. එය තේරුම්ගැනීමට මෙසේ සිතන්න. ඔබ වැඩියෙන්ම කැමති යම් කෙනෙක් ඔබට කැමැත්තෙන්ම තෑග්ගක් දෙනවාටද නැත්නම් දිය යුතුම නිසා ඔබට එය දෙනවාටද? අනිවාර්යයෙන්ම ඔබ කැමති වන්නේ යම් කෙනෙක් සිතේ කැමැත්තෙන්ම පෙලඹී ඔබට තෑග්ගක් දෙනවාටයි. යෙහෝවා දෙවිත් කැමති වුණේ ආදම් සහ ඒව තීරණ ගැනීමට තිබූ නිදහස යොදාගෙන කැමැත්තෙන්ම තමන්ට කීකරු වෙනවා දකින්නයි. එසේ වුණා නම් ඔවුන් දෙදෙනා තමාට කොතරම් ප්‍රේම කරනවාද කියා දෙවිට පැහැදිලි වෙනවා.—ද්විතීය කතාව 30:19, 20.

ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය යහපත් දෙවි

යෙහෝවා දෙවි තුළ තිබෙන ශ්‍රේෂ්ඨ ගතිලක්ෂණ ගැන බයිබලයේ විස්තර කර තිබෙනවා. ඔහු ‘ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය කෙනෙක්’ කියාත් “නපුරු දේ කරන්න කිසි කෙනෙකුව පොලඹවන්නේ නැත” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 33:5; යාකොබ් 1:13) එවැනි ගතිලක්ෂණ තිබෙන දෙවි කෙනෙකු තුළ කිසිම නපුරක් හෝ දුෂ්ටකමක් තිබෙන්න බැහැ. ධර්මිෂ්ඨ, යුක්තිගරුක දෙවි කෙනෙක් ලෙස ඔහු ආදම්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්පත්ති 2:16, 17) ආදම් සහ ඒව එම අනතුරු ඇඟවීමට පිටුපෑවා නම් ඔවුන්ට මරණය අද්දකින්න සිදු වෙනවා කියා දෙවි පැවසුවා. නමුත් ඔවුන් ඊට කීකරු වුණා නම් සදහටම ජීවත් වෙන්න ඔවුන්ට හැකියාව තිබුණා. එසේනම් මදකට මේ ගැන සිතන්න. ආදම් සහ ඒව තමන්ට අකීකරු වී මරණය අද්දකින බව දෙවි දැන සිටියා නම් ඔවුන්ට සදාකාල ජීවනයක් ගැන ඔහු පොරොන්දු වෙයිද? “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රිය” යෙහෝවා දෙවි එවැනි ප්‍රෝඩාවක් කරයි කියා සිතිය හැකිද?

යෙහෝවා දෙවි ඉතා යහපත් කෙනෙක් බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 31:19) යේසුස් එක් අවස්ථාවකදී මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තමන්ගේ පුතා රොටියක් ඉල්ලුවොත් ඔහුට ගලක් දෙයිද? නැත්නම් ඔහු මාළුවෙක් ඉල්ලුවොත් සර්පයෙකු දෙයිද? ඔබ දුෂ්ට වුණත් ඔබේ දරුවන්ට හොඳම දේ දෙන්නේ කෙසේද කියා ඔබ දන්නවා. එසේනම් ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊටත් වඩා කොපමණ වැඩියෙන් හොඳම දේ දෙයිද!” (මතෙව් 7:9-11) ඇත්තෙන්ම යහපත් දෙවි කෙනෙක් ලෙස ඔහු සියලුදෙනාටම දෙන්නේ ‘හොඳම දෙයයි.’ දෙවි මිනිසාව නිර්මාණය කර තිබෙන ආකාරයත් ඔවුන් වෙනුවෙන් පාරාදීසය සෑදූ ආකාරයත් සලකා බලන විට ඔහු මොන තරම් යහපත් කෙනෙක්ද කියා පැහැදිලි වෙනවා. නමුත් ආදම් සහ ඒවව පාරාදීසයෙන් පිටමං කිරීමට තමන්ට සිදු වෙන බව දෙවි කලින්ම දැන සිටියා නම් ඔහු ඔවුන්ව පාරාදීසයක පදිංචි කර එය අහිමි වීමේ වේදනාව අද්දකින්න ඉඩ දෙයිද? යහපත්කමින් පූර්ණ යෙහෝවා දෙවි එවැනි පහත් ක්‍රියාවක් කරයි කියා කොහෙත්ම සිතන්න බැහැ.

“ප්‍රඥාවෙන් ක්‍රියා කරන එකම තැනැත්තා”

“ප්‍රඥාවෙන් ක්‍රියා කරන එකම තැනැත්තාණන්” ලෙසත් යෙහෝවා දෙවිව බයිබලයේ හඳුන්වා තිබෙනවා. (රෝම 16:27) ඔහු මොන තරම් ප්‍රඥාවන්තද කියා ස්වර්ගයේ සිටින දේවදූතයන් හොඳින්ම දන්නවා. උදාහරණයකට ඔහු පොළොව සහ එහි ඇති සියල්ල ප්‍රඥාවන්තව නිර්මාණය කළ ආකාරය ඔවුන් දුටුවා. ඒ ගැන ඔවුන් දෙවිට ‘සතුටු සිතින් ප්‍රශංසා කළා’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (යෝබ් 38:4-7) ඒ දේවදූතයන් ඒදන් උයන සහ මුල් මිනිස් යුවළ ගැන මහත් උනන්දුවෙන් සිටි බවට කිසිම සැකයක් නැහැ. එසේනම් එතරම් ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් ආදම් සහ ඒව වැරදි කරන බව දැන දැනම ඔවුන්ව නිර්මාණය කළා නම් ඒ දේවදූතයන්ට දෙවි ගැන කුමක් හැඟෙයිද? ඇත්තෙන්ම ඉතා බුද්ධිමත් දේවදූතයන් ඉදිරියේ දෙවි එවැනි අඥාන දෙයක් කරයි කියා සිතන්න බැහැ.

කොහොමවුණත් දෙවි ඉතා ප්‍රඥාවන්ත නිසා ආදම් සහ ඒව පව් කරන බව අනිවාර්යයෙන්ම ඔහු දැනගෙන සිටිය යුතුමයි කියා ඇතමුන් කියන්න පුළුවන්. ඇත්තෙන්ම යෙහෝවා දෙවිට අනාගතය ගැන දැනගැනීමේ හැකියාව තිබෙනවා. ‘අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා’ ලෙස බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (යෙසායා 46:9, 10) නමුත් ඔහු හැම අවස්ථාවකම ඒ හැකියාව පාවිච්චි කරන්නේ නැහැ. උදාහරණයකට ඔහු සතු බලය ගැන සිතන්න. ඔහුට අසීමිත බලයක් තිබුණත් ඔහු ඒ බලය හැම අවස්ථාවකම උපරිම අයුරින් පාවිච්චි කරන්නේ නැහැ. ඒ හා සමානව අනාගතය ගැන දැනගැනීමට තිබෙන හැකියාවත් ඔහු නිරතුරුවම පාවිච්චි කරන්නේ නැහැ. ඔහු එය පාවිච්චි කරන්නේ එසේ කිරීමට සාධාරණ හේතුවක් තිබෙනවා නම් පමණයි.

එය මෙසේ නිදර්ශනය කළ හැකියි. පටිගත කරන ලද ක්‍රීඩා තරඟයක් නරඹන කෙනෙකුට අවශ්‍ය නම් අවසානයේ කුමක්ද සිදු වන්නේ කියා දැනගැනීමට හැකියාව තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් කවුරුත් එහෙම කරන්නේ නැහැ. බොහෝදුරට හැමෝම ක්‍රීඩා තරඟයක් නරඹන්නේ මුල සිට අග දක්වායි. යෙහෝවා දෙවිත් කටයුතු කරන්නේ ඒ හා සමානවයි. අනාගතයේ සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔහුට හැකියාව තිබුණත් ඔහු එසේ කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කරන්නේ ඒ ඒ අවස්ථාවේ මිනිසුන් කටයුතු කරන ආකාරය දෙස ඉතා ඉවසිලිවන්තව බලා සිටීමයි.

එමනිසා ආදම් සහ ඒව තීරණ ගැනීමේ නිදහස යොදාගෙන දෙවිගේ මඟ පෙන්වීම් පිළිගත්තා නම් යෙහෝවා දෙවිට කීකරුකම, අගය සහ ප්‍රේමය පෙන්නුම් කිරීමට ඔවුන්ට හැකියාව තිබුණා. ඔවුන් එසේ කළා නම් යෙහෝවා දෙවිව සතුටු කිරීමට ඔවුන්ට හැකි වන අතර එමගින් ඔවුන්ටත් සන්තෝෂය අද්දැකීමට අවස්ථාව තිබුණා.—හිතෝපදේශ 27:11; යෙසායා 48:18.

අනාගතය ගැන දැනගැනීමට තමන් සතු හැකියාව යෙහෝවා දෙවි නිතරම යොදාගන්නේ නැති බව බයිබලයේ සඳහන් සිද්ධීන් ඇසුරෙන්ද දැනගත හැකියි. උදාහරණයකට ආබ්‍රහම් යෙහෝවා දෙවිට කීකරු වී තම පුත්‍රයාව පූජා කිරීමට ගිය අවස්ථාවේ යෙහෝවා දෙවි ඔහුව වළක්වමින් මෙසේ පැවසුවා. “ඔබ ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා මට දෙන්න පසුබට නොවූ නිසා ඔබට මා කෙරෙහි ගරුබියක් ඇති බව මම දැන් දනිමි.” (උත්පත්ති 22:12) ඒ අවස්ථාවේදී ආබ්‍රහම් ඇත්තටම තම අණට කීකරු වෙයිද නැද්ද කියා කලින්ම දැනගැනීමට දෙවිට හැකියාව තිබුණත් එසේ කරනවා වෙනුවට ඔහු ඒ අවස්ථාව දෙස ඉවසිලිවන්තව බලා සිටියා. ඇත්තෙන්ම ආබ්‍රහම් තම අණට කීකරු වන බව දෙවි කලින්ම දැන සිටියා නම් එය දැනගැනීමට ඔහු එම අවස්ථාව එන තුරු බලා සිටීමට අවශ්‍යද? ඇතැම් අයගේ ක්‍රියා කලාපයන් නිසා යෙහෝවා දෙවිට ‘මහත් වේදනාවක්’ දැනුණු සිද්ධීන් ගැනද බයිබලයේ සඳහන් වෙනවා. ඒ අය කෙසේ කටයුතු කරයිද කියා යෙහෝවා දෙවි කලින්ම සොයා බලා තිබුණා නම් ඔහුට එවැනි දුකක් ඇති වෙයි කියා සිතිය හැකිද?—ගීතාවලිය 78:40, 41; 1 රාජාවලිය 11:9, 10.

ඒ අනුව ආදම් සහ ඒව පව් කරන බව දෙවි කලින්ම දැනගෙන සිටියේ නැති බව පැහැදිලියි. ඇත්තෙන්ම යෙහෝවා දෙවි ඉතා ප්‍රඥාවන්ත නිසා මිනිසුන්ට දැඩි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වන බව දැන දැනත් ඔවුන්ව නිර්මාණය කරයි කියා සිතීමට කිසිම පදනමක් නැහැ.

“දෙවි ප්‍රේමයයි”

ඒදන් උයනේදී දෙවිට විරුද්ධව කැරලිගැසීමට ආදම් සහ ඒවව පෙලඹවීමෙන් මිනිස් වර්ගයාටම පාපය සහ මරණය උරුම කර දුන්නේ දෙවිගේ සතුරා වන යක්ෂයායි. ඒ නිසා ඔහුව “මිනී මරුවෙක්” කියා බයිබලයේ හඳුන්වා තිබෙනවා. එමෙන්ම ඔහුව “බොරුකාරයෙක්” සහ “බොරුවේ පියා” ලෙසත් හඳුන්වා තිබෙනවා. (යොහන් 8:44) යක්ෂයා ඉතා දුෂ්ට කෙනෙක් නිසා ඔහු උත්සාහ කරන්නේ අපව නිර්මාණය කළ ප්‍රේමණීය යෙහෝවා දෙවිත් ඒ හා සමාන කෙනෙක් බව ඇඟවීමටයි. එමෙන්ම මිනිස් වර්ගයාට උරුම වී තිබෙන පව්කාර ස්වභාවයට වග කිව යුත්තේ දෙවි කියා පෙන්වීමටත් ඔහු උත්සාහ කරනවා.

ආදම් සහ ඒව තමන්ට කීකරු වෙයිද නැද්ද කියා කලින්ම දැනගැනීමට දෙවිට හැකියාව තිබුණත් දෙවි ඒ දේ නොකළේ ඔහු ප්‍රේමණීය කෙනෙක් නිසයි. බයිබලයේ සඳහන් වෙන්නේ, “දෙවි ප්‍රේමයයි” කියායි. (1 යොහන් 4:8) ප්‍රේමණීය කෙනෙක් අවධානය දෙන්නේ අන් අය තුළ තිබෙන හොඳ ගතිගුණවලටයි. ප්‍රේමණීය කෙනෙක් ලෙස දෙවිත් උත්සාහ කළේ ආදම් සහ ඒව වෙනුවෙන් උපරිම හොඳක් කිරීමටයි.

දෙවි ඉතා ප්‍රේමණීය කෙනෙක් නිසා ආදම් සහ ඒව තමන්ගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරයි කියා දෙවි සැක කළේ නැහැ. ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම දෙවි ලබා දී තිබුණු නිසාත් දැනගත යුතු සියල්ල දෙවි ඔවුන්ට දැනුම් දී තිබුණු නිසාත් ඔවුන් දිගටම තමන්ට කීකරුව සිටියි කියා දෙවි බලාපොරොත්තු වුණා. එමෙන්ම පරිපූර්ණ අය හැටියට දිගටම විශ්වාසවන්තව කටයුතු කිරීමට ඔවුන්ට හැකි බවත් දෙවි දැන සිටියා. පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටි ආබ්‍රහම්, යෝබ්, දානියෙල් ඇතුළු තවත් බොහෝදෙනා දෙවිට විශ්වාසවන්තව සිටියා නම් ආදම් සහ ඒවට ඊට වඩා කොතරම් වැඩියෙන් එසේ සිටීමට හැකියාව තිබෙන්න ඇද්ද!

කොහොමවුණත් ආදම් සහ ඒව කළ වරදින් මිනිසුන්ට අද්දකින්න සිදු වී තිබෙන සියලුම දුක් වේදනාවන් අවසන් කර දැමීමට දෙවි පොරොන්දු වී තිබෙනවා. (එළිදරව් 21:3-5) ප්‍රේමයෙන්, යුක්තියෙන්, ප්‍රඥාවෙන් සහ බලයෙන් පිරි දෙවි කෙනෙකු ලෙස ඔහු එම පොරොන්දුව ඉටු කරයි කියා අපට නිසැක විය හැකියි. “දෙවිට සියල්ල කළ හැකියි” කියා යේසුස් පැවසූ දෙයින් එය තවත් තහවුරු වෙනවා.—මතෙව් 19:26.

ආදම් සහ ඒව පව් කරන බව දෙවි කලින්ම දැනගෙන සිටියේ නැති බව අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වෙනවා. ඔවුන් දෙදෙනාගේ අකීකරුකම ගැනත් ඒ නිසා මිනිසුන්ට මුහුණ දීමට සිදු වූ දුක් වේදනාවන් ගැනත් දෙවිට මහත් ශෝකයක් දැනුණා. කොහොමවුණත් ඒ කිසිම දෙයක් මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කර මිනිසුන්ව එහි පදිංචි කරවීමට වූ තම අරමුණට බාධාවක් නොවන බව දෙවි දැනගෙන සිටියා. යෙහෝවා දෙවිගේ එම ශ්‍රේෂ්ඨ අරමුණ සහ එය ඔබේ ජීවිතයට බලපාන ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති නැද්ද? *

[පාදසටහන]

^ 23 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වන පරිච්ඡේදය බලන්න.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි ඔවුන් දෙදෙනාව නිර්මාණය කළේ නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ඇතුවයි

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පරිපූර්ණ අය හැටියට විශ්වාසවන්තව සිටීමට ආදම් සහ ඒවට හැකියාව තිබූ බව දෙවි දැන සිටියා