Skip to content

පටුනට යන්න

ඒදන් උයන මිනිසාගේ මුල්ම නිවහනද?

ඒදන් උයන මිනිසාගේ මුල්ම නිවහනද?

ඒදන් උයන මිනිසාගේ මුල්ම නිවහනද?

ඔබ දැන් සිටින්නේ නගරබද ජීවිතයට ආවේණික නොසන්සුන් වාතාවරණයෙන් තොර ඉතා සුන්දර උද්‍යානයකයි කියා සිතන්න. නිස්කලංකභාවය බිඳ දමන කිසිවක් මෙම උද්‍යානයේ නැහැ. ඔබේ සතුට සොරාගන්නා ප්‍රශ්න ගැටලු, ලෙඩ දුක් යන කිසිවක්ද නැහැ. ඔබ දැන් සූදානම් වෙන්නේ ඒ මනස්කාන්ත උද්‍යානයේ සුන්දරත්වය විඳගන්නයි.

උද්‍යානයේ මදක් ඉදිරියට යන විට එක යායට පිපුණ පාට පාට මල් දෙස ඔබේ නෙත් යොමු වෙයි. ඒ සමඟම හිරු කිරණෙන් නැහැවී ඇති ගංගාවත් තුරු සෙවණැල්ල පතිත වූ තණනිල්ලත් ඔබේ නෙත් සිත් ඇදගනියි. ඇඟේ දැවටී යන මද පවනේ මුසු වී තිබෙන්නේ මල් සුවඳයි. එයින් ඔබේ ගතට දැනෙන්නේ අමුතුම ප්‍රබෝධයක්. සුළඟට තුරු පත් ලෙළ දෙන හඬත් ගල්පර අතරින් සුදෝ සුදු ජල කඳ ගලා හැළෙන හඬත් කුරුල්ලන්ගේ ගී නාදයත් ඔබේ දෙසවන් පිනවයි. එවැනි සුන්දර ස්ථානයක ජීවත් වෙන්න ඔබ කැමති නැද්ද?

බයිබලයේ පෙන්වා ඇති ආකාරයට අපේ මුල්ම දෙමාපියන් වූ ආදම් සහ ඒව ජීවත් වී තිබෙන්නේ ඉහත විස්තර කළා හා සමාන පාරාදීසයක් බඳු උද්‍යානයකයි. එය හැඳින්වූයේ ඒදන් උයන ලෙසයි. එහි ජීවත් වූ ආදම් සහ ඒව සතුන් සමඟ සාමයෙන් සිටියා. එපමණක්ද නොව ඔවුන්ට සදහටම ජීවත් වීමේ අපේක්ෂාව දුන් දෙවි සමඟත් ඔවුන්ට කිට්ටු බැඳීමක් තිබුණා. (උත්පත්ති 2:15-24) එවැනි ප්‍රීතිමත් ආරම්භයක් මිනිස් වර්ගයාට තිබුණු බව විවිධ ආගම්වල උගන්වනවා. උදාහරණයකට ආදම් සහ ඒව යන දෙදෙනාව දෙවියන් ඒදන් උයනේ පදිංචි කළ බව යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානියයි කියාගන්නා වූ ආගම්වල සියවස් ගණනාවක් පුරා උගන්වා තිබෙනවා.

ඈත අතීතයේදී පාරාදීසයක් තිබුණු බව හින්දු භක්තිකයන්ද විශ්වාස කරනවා. එමෙන්ම බෞද්ධ බැතිමතුන්ද විශ්වාස කරන්නේ පාරාදීසයක් බඳු ස්වර්ණමය යුගයක බුදුවරුන් මෙලොවට පහළ වන බවයි. අප්‍රිකාවේ බොහෝ ආගම්වලත් ආදම් සහ ඒව ගැන බයිබලයේ සඳහන් තොරතුරුවලට සමාන කතන්දර උගන්වනවා.

එවැනි තොරතුරුවලින් පෙනී යන්නේ අතීතයේදී පාරාදීසයක් තිබුණා කියා ජාති ආගම් භේදයකින් තොරව සියලුම මිනිසුන් පාහේ විශ්වාස කරන බවයි. එක් ලේඛකයෙක් ඒ ගැන මෙසේ පැවසුවා. ‘සාමය, සතුට, සැනසීම හා නිදහස රජ කළ අයුක්තිය, අසාධාරණය හා ගැටුම්වලින් තොර අංග සම්පූර්ණ පාරාදීසයක් අතීතයේදී තිබුණු බව විවිධ ජාතීන්ට අයත් මිනිසුන් විශ්වාස කරනවා. එමනිසා අහිමි වූ ඒ පාරාදීසය නැවත ලබාගැනීමට ඔවුන් සිටින්නේ ඉමහත් ආශාවකින්.’

අතීතයේදී පාරාදීසයක් තිබුණු බවට විවිධ ජාතීන් අතර තිබෙන විශ්වාසයට පදනම කුමක්ද? පාරාදීසයක් ගැන මිනිසුන්ගේ සිත්වල ආශාවක් ඇති වී තිබෙන්නේ ඇයි? ආදම් සහ ඒව යන දෙදෙනා ජීවත් වූ ඒදන් උයන සැබෑ එකක්ද?

අද ජීවත් වන බොහෝ අය ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් විස්තරය සලකන්නේ ගෙතූ සුරංගනා කතාවක් ලෙසයි. කනගාටුවට කරුණක් වන්නේ ආගමික නායකයන්ද එවැනි මත දැරීමයි. ඒදන් උයන ගැන බයිබලයේ සඳහන් විස්තරය මනඃකල්පිත උපමා කතාවක් කියා ඔවුන් පවසනවා.

බයිබලයේ උපමා කතා තිබෙන බව ඇත්තයි. යේසුස්ම පැවසූ ප්‍රසිද්ධ උපමා බොහොමයක් බයිබලයේ තිබෙනවා. නමුත් ඒදන් උයන ගැන එහි ඇති විස්තරය නම් උපමා කතාවක් නොවෙයි. බයිබලයේ ඒදන් උයන විස්තර කර තිබෙන්නේ සැබෑ ඓතිහාසික ස්ථානයක් ලෙසයි. එසේනම් ඒදන් උයන ගැන බොහෝ අය සැක කරන්නේ ඇයි කියාත් ඊට පදනමක් තිබෙනවාද කියාත් අපි සලකා බලමු. එවිට බයිබලය මොන තරම් නිවැරදි පොතක්ද කියා ඔබට තහවුරු වෙයි. එමෙන්ම බයිබලයේ තිබෙන මූලික ඉගැන්වීම් තේරුම්ගැනීමට ඒදන් උයන කියා ස්ථානයක් තිබුණු බව විශ්වාස කිරීම කොතරම් වැදගත්ද කියාත් අපි බලමු.