Skip to content

පටුනට යන්න

දෙවි ඔබට ආදරෙයි

දෙවි ඔබට ආදරෙයි

දෙවි ඔබට ආදරෙයි

ඔබ අන් අයගේ ආදරය ලබමින් සිටින කෙනෙක්ද? එසේත් නැත්නම් අන් අයගේ ආදරය ඔබට ලැබෙන්නේ නැහැ කියා හැඟෙනවාද? අපි අද ජීවත් වන මේ කාර්යබහුල ලෝකයේ බොහෝ මිනිසුන් පුරුදු වී සිටින්නේ තමුන් ගැන පමණක් සිතන්නයි. ඒ නිසා ‘මාව කාටවත් වටින්නේ නැහැ’ හෝ ‘මගෙන් කාටවත් වැඩක් නැහැ’ වැනි හැඟීම් ඔබ තුළ ඇති විය හැකියි. බයිබලයේ පෙන්නුම් කර ඇති ආකාරයට තමුන් ගැන පමණක් සිතන මිනිසුන් මේ කාල පරිච්ඡේදය තුළ සිටින නිසා එකිනෙකා කෙරෙහි සැලකිල්ල දැක්වීම අද එතරම් දකින්න නැති තරම්.—2 තිමෝති 3:1, 2.

අපේ වයස, සංස්කෘතිය, භාෂාව හෝ ජාතිය කුමක් වුණත් ආදරය කිරීමේ හා ආදරය ලැබීමේ අවශ්‍යතාව අපි සියලුදෙනා තුළම තිබෙනවා. ඇතැම් වාර්තාවල පෙන්වා ඇති ආකාරයට අපේ ස්නායු පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ ආදරය ඉක්මනින්ම දැනෙන ආකාරයටයි. ඒ අනුව ආදරය හා ප්‍රශංසාව ලබාගැනීමට අප තුළ තිබෙන ආශාව කාටත් වඩා හොඳින්ම තේරුම්ගන්නේ අපව නිර්මාණය කළ තැනැත්තා වන යෙහෝවා දෙවියි. යෙහෝවා දෙවිම ඔබට කතා කරමින් ‘මට ඔබව හුඟාක් වටිනවා’ කියා පැවසුවොත් ඔබට කෙසේ හැඟෙයිද? ඔබේ ජීවිතයේ ඔබට අහන්න ලැබුණු වටිනාම වදන් පෙළ එයයි කියා ඔබ පවසන බවට කිසිම සැකයක් නැහැ. නමුත් අපි වැනි දුර්වල මිනිසුන්ව දෙවියන් වටිනා අය හැටියට සලකයිද? ඔහුට ඇත්තෙන්ම ඔබව වටිනවාද? යෙහෝවා දෙවිගේ ආදරය ලැබීමට නම් කෙනෙක් කළ යුත්තේ කුමක්ද? අපි දැන් ඒ ගැන සලකා බලමු.

ඔහු අපි ගැන සැලකිලිමත්

මීට වසර 3,000කට පමණ පෙර සිටි දාවිත්, නිමක් කොනක් නොපෙනෙන තරු පිරි අහස දෙස බලා යෙහෝවා දෙවි එය නිර්මාණය කර තිබෙන ආකාරය ගැන පුදුමයට පත් වුණා. දෙවි එතරම් අතිශ්‍රේෂ්ඨ කෙනෙක් වුණත් මිනිසුන් ගැන සැලකිලිමත් වීම ගැන දෙවිට ස්තුති කළ දාවිත් මෙසේ පැවසුවා. “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලැබීමට තරම් මිනිසුන් වටින්නේද?” (ගීතාවලිය 8:3, 4) යෙහෝවා දෙවි අපෙන් බොහෝ දුරස්ව සිටින, අපි ගැන සැලකිලිමත් වීමට තරම් කාලයක් නැති දෙවි කෙනෙක් කියා ඇතැම් අයට සිතෙන්න පුළුවන්. නමුත් දාවිත් පැවසූ දේ සලකා බලන විට යෙහෝවා දෙවි අපි සෑම කෙනෙක් ගැනම සැලකිලිමත් බව පැහැදිලියි.

පුරාණයේ සිටි යෙහෝවා දෙවිගේ තවත් සේවකයෙක්ද මෙවැනි දෙයක් පැවසුවා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති, ඔහු ප්‍රේමය පෙන්වන තෙක් ආශාවෙන් බලා සිටින අය ගැන ඔහු සතුටු වන්නේය.” (ගීතාවලිය 147:11) එම වදන් හා ඉහත දාවිත් පැවසූ වදන් සලකා බලන විට අපට මහත් සහනයක් අද්දැකිය හැකියි. මන්ද යෙහෝවා දෙවි කොතරම් අතිශ්‍රේෂ්ඨ කෙනෙකු වුණත් අපි වැනි දුර්වල ‘මිනිසුන්ට ඔහු රැකවරණය සලසන’ බවත් ‘අප ගැන සතුටු වන’ බවත් ඉන් හෙළි වෙනවා.

යෙහෝවා දෙවිට මිනිසුන්ව කොතරම් වටිනවාද කියා බයිබලයේ සඳහන් වී තිබෙන එක් අනාවැකියකින්ද තේරුම්ගත හැකියි. ඒ අනාවැකියේ පෙන්නුම් කරන්නේ මේ කාලයේ පොළොව පුරාම ශුභාරංචිය ප්‍රචාරය වීම ගැනයි. එසේ ශුභාරංචිය ප්‍රචාරය වීමත් සමඟම යෙහෝවා දෙවි සිදු කරන්න යන්නේ කුමක්ද යන්න ගැන එහි මෙසේ සඳහන් වෙනවා. “ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි. ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි.”—හග්ගයි 2:7.

එම අනාවැකියේ සඳහන්, “වටිනා වස්තු” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මිලමුදල්, රන් රිදී වැනි දේවල් ඉන් අදහස් වන්නේ නැහැ. මන්ද යෙහෝවා දෙවි කිසි දිනක ඒ දේවලින් සතුටට පත් වෙන්නේ නැහැ. (හග්ගයි 2:8) නමුත් අඩුපාඩුකම් තිබුණත් ප්‍රේමයෙන් පෙලඹී තමාට නමස්කාර කරන අය ගැන ඔහු සතුටු වෙනවා. (හිතෝපදේශ 27:11) ඉහත අනාවැකියේ සඳහන් ‘වටිනා වස්තුවලින්’ අදහස් කරන්නේ ඔවුන්වයි. ඒ අය උද්‍යෝගයෙන් හා මහත් කැපවීමකින් තමාට කරන සේවය ගැන යෙහෝවා දෙවි බොහෝ සෙයින් සතුටට පත් වෙනවා. ඒ නිසයි දෙවි ඔවුන්ව වටිනා වස්තු ලෙස සලකන්නේ.

මුළු විශ්වයම නිර්මාණය කළ යෙහෝවා දෙවි අඩුපාඩුකම් තිබෙන මිනිසුන්ව වටිනා වස්තුවක් ලෙස සැලකීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබ ඒ ගැන මහත් සේ සතුටු වන බව නිසැකයි. යෙහෝවා දෙවිට ළං වෙන්න එය ඔබව පොලඹවන්නේ නැද්ද?—යෙසායා 55:6; යාකොබ් 4:8.

“ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි”

අතීතයේ සිටි අනාගතවක්තෘවරයෙක් වූ මහලු දානියෙල් දිනක් නොසිතූ දෙයකට මුහුණ දුන්නා. එක් සවස් යාමයක ඔහු යාච්ඤා කරමින් සිටියදී ඔහුව හමු වීමට අමුත්තෙක් පැමිණියා. ඔහුගේ නම ගාබ්‍රියෙල්. කලින් අවස්ථාවකත් ඒ අමුත්තා දානියෙල්ව හමු වීමට පැමිණ තිබූ නිසා ඔහු දේවදූතයෙක් බව දානියෙල් හොඳින්ම දැනගෙන සිටියා. තමා පැමිණි හේතුව ඔහු දානියෙල්ට මෙසේ පැහැදිලි කළා. ‘දානියෙල්, ඔබට සියල්ල පැහැදිලිව අවබෝධ කර දෙන පිණිස මම ආවෙමි. මන්ද ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි.’—දානියෙල් 9:21-23.

වෙනත් අවස්ථාවකත් දානියෙල්ව හමු වීමට පැමිණි දේවදූතයෙක් ඔහුට පැවසුවේ, “දානියෙල්, ඔබ බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙකි” කියායි. ඒ අවස්ථාවේ බියෙන් වෙවුලමින් සිටි දානියෙල්ව ශක්තිමත් කිරීමට ඔහු මෙසේද පැවසුවා. “බොහෝ ප්‍රේම ලත් තැනැත්ත, ඔබට සමාදානය ලැබේවා! භය නොවන්න.” (දානියෙල් 10:11, 19) එලෙස තුන් වතාවක්ම දානියෙල්ව ‘බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්’ ලෙස හඳුන්වනු ලැබීමෙන් දෙවි ඔහුට මොන තරම් ප්‍රේම කළාද කියාත් ඔහුව කොයි තරම් වටිනා කෙනෙක් ලෙස සැලකුවාද කියාත් පැහැදිලි වෙනවා.

යෙහෝවා දෙවිගේ සේවකයෙක් ලෙස දානියෙල්ට දෙවි සමඟ කිට්ටු බැඳීමක් තිබුණා. එමෙන්ම යෙහෝවා දෙවි වෙනුවෙන් තමා කරන සේවය දෙවි පිළිගන්නා බවත් දානියෙල් හොඳින් දැන සිටියා. ඒ වුණත් දේවදූතයන් මාර්ගයෙන්ම යෙහෝවා දෙවි දානියෙල් කෙරෙහි තිබූ තම ප්‍රේමය ප්‍රකාශ කළ විට දානියෙල් ඉන් මොන තරම් ශක්තියක් ලබන්න ඇද්ද! “ඔබ මාව ශක්තිමත් කළා” කියා පැවසීමට ඔහු පෙලඹුණේ ඒ නිසයි.—දානියෙල් 10:19.

දානියෙල්ට යෙහෝවා දෙවි ආදරය ප්‍රකාශ කළ ආකාරය බයිබලයේ සඳහන් වී තිබෙන්නේ අපට එය කියවා ප්‍රයෝජන ලබාගැනීම සඳහායි. (රෝම 15:4) ඒ නිසා දානියෙල්ගේ ආදර්ශය සලකා බැලීමෙන් යෙහෝවා දෙවිගේ ආදරය දිනාගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද කියා අපට තේරුම්ගත හැකියි.

නොකඩවා ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරන්න

දානියෙල් ඉතා උනන්දුවෙන් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළා. ඒ ගැන දානියෙල්ම මෙසේ පැවසුවා. “දානියෙල් වන මම අනාගතවක්තෘ යෙරෙමියාගේ ලියවිලි සෝදිසි කර බලා, යෙරුසලම කොපමණ කාලයක් පුරා පාළුවට යන්න ඉඩහැර තිබුණාද කියා තේරුම්ගත්තෙමි.” (දානියෙල් 9:2) ඒ කාලයේදී දානියෙල් සතුව මෝසෙස්, දාවිත්, සලමොන්, යෙසායා, යෙරෙමියා, එසකියෙල් හා වෙනත් අනාගතවක්තෘවරුන් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියූ ලියවිලි තියෙන්න ඇති. ඔහු ඒ ලියවිලි කියවමින් ඒවායේ සඳහන් අනාවැකි වෙනත් ඒවා හා සසඳමින් යෙරුසලමේ සැබෑ නමස්කාරය යළි ආරම්භ වන්නේ කවදාද කියා සොයා බැලූ බවට කිසිම සැකයක් නැහැ. එමෙන්ම ඔහුගේ උඩුමහල් කාමරයේ සිට එම අනාවැකි ගැන ඔහු ඉතා ගැඹුරින් කල්පනා කරමින් ඒවායේ අර්ථය වටහාගන්න උත්සාහ කරන්නත් ඇති. එසේ ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවි කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය තව තවත් ශක්තිමත් වූ අතර ඔහු දෙවිට වඩාත් ළං වුණා.

ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම නිසා දානියෙල්ට හොඳ ගුණාංග වර්ධනය කරගෙන ජීවිතාන්තය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටීමටත් හැකි වුණා. උදාහරණයකට යෙහෝවා දෙවිගේ නීතිය ගැන කුඩා කාලයේ සිටම දානියෙල්ට උගන්වා තිබූ නිසා දෙවි තහනම් කර තිබූ කෑමවලින් වැළකී සිටීමට ඔහු අදිටන් කරගත්තා. (දානියෙල් 1:8) පසු කාලයකදී ඔහු ඉතා නිර්භීතව යෙහෝවා දෙවිගේ පණිවිඩ බැබිලෝනියේ සිටි බලවත් පාලකයන්ට ප්‍රකාශ කළා. (හිතෝපදේශ 29:25; දානියෙල් 4:19-25; 5:22-28) එමෙන්ම කැපවීමෙන් වැඩ කරන, අවංක මෙන්ම විශ්වාසවන්ත කෙනෙක් ලෙස දානියෙල් ප්‍රසිද්ධව සිටියා. (දානියෙල් 6:4) ඒ සියල්ලටම වඩා ඔහු කැපීපෙනුණේ දෙවිගේ ආඥා කඩ කරමින් තම ජීවිතය රැකගන්නවාට වඩා දෙවි කෙරෙහි විශ්වාසය තබා මිය යෑමට වුණත් කැමැත්තෙන් සිටි කෙනෙක් ලෙසයි. (හිතෝපදේශ 3:5, 6; දානියෙල් 6:23) ඒ අනුව බලන විට ‘බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්’ කියා යෙහෝවා දෙවි දානියෙල්ව හැඳින්වීම මොන තරම් උචිතද!

දානියෙල්ගේ කාලයට වඩා අද ශුද්ධ ලියවිල්ල වන බයිබලය අධ්‍යයනය කිරීම ඉතා පහසුයි. ඒ කාලයේ ශුද්ධ ලියවිල්ල තිබුණේ අකුළන ලියවිලි හැටියටයි. නමුත් අද එය තිබෙන්නේ පහසුවෙන් පෙරළිය හැකි පොතක් ලෙසයි. එමෙන්ම මේ වන විට බයිබලය සම්පූර්ණයෙන්ම ලියා අවසන් වී තිබෙන නිසා දානියෙල්ම සඳහන් කළ ඇතැම් අනාවැකි ඉටු වූ ආකාරය අපිට එයින් දැනගත හැකියි. ඊට අමතරව බයිබලයේ තිබෙන දේවල් සම්බන්ධයෙන් අමතර පර්යේෂණ කිරීමට පොත් පත්ද තිබෙනවා. * ඒවායින් ඔබ ප්‍රයෝජන ගන්නවාද? නිතිපතා බයිබලය කියවා එහි තිබෙන දේවල් ගැන කල්පනා කිරීමට ඔබ නිශ්චිත කාලයක් වැය කරනවාද? ඔබ එසේ කරනවා නම් යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය වැඩි කරගෙන ඔහුට තවත් ළං වෙන්නත් ජීවිතයට අවශ්‍ය මඟ පෙන්වීම් ලබාගන්නත් දෙවි ඔබට කොතරම් ප්‍රේම කරනවාද කියා තේරුම්ගන්නත් ඔබට හැකියාව ලැබෙයි.

අත් නෑර යාච්ඤා කරන්න

දානියෙල් සෑමවිටම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. ඊට උදාහරණ කිහිපයක් සලකා බලන්න. එක් අවස්ථාවක බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජු තමා දුටු සිහිනය හා එහි අර්ථය පහදා දීමට නොහැකි වුණොත් දානියෙල් ඇතුළු බැබිලෝනියේ සිටි සියලුම බුද්ධිමතුන්ව මරා දමන්න තීරණය කළා. එවිට තරුණ වියේ සිටි දානියෙල් ආරක්ෂාව හා උපකාරය පතා දෙවිට කන්නලව් කළා. (දානියෙල් 2:17, 18) ඉන් වසර ගණනාවකට පසුව මහලු වියේ සිටියදී ඔහු තමාගේ හා තම ජාතියේම වැරදිවලට සමාව ඉල්ලමින් දෙවිට ඉතා බැගෑපත්ව කන්නලව් කළා. (දානියෙල් 9:3-6, 20) යෙහෝවා දෙවි එළිදරව් කළ ඇතැම් කාරණා නොතේරුණු විටත් දානියෙල් යාච්ඤා කර දෙවිගෙන් උදව් ඉල්ලුවා. ඔහුගේ යාච්ඤාවලට යෙහෝවා දෙවි සවන් දුන්නා. ‘දෙවි ඔබේ කන්නලව්වලට සවන් දුන්නේය’ කියා ඔහුට යම් දේවල් තේරුම් කර දීමට පැමිණි දේවදූතයෙක් පැවසුවේ ඒ නිසයි.—දානියෙල් 10:12.

දානියෙල්ගේ යාච්ඤාවලට ඉල්ලීම් පමණක් ඇතුළත් වුණේ නැහැ. ඔහු දෙවිට යාච්ඤා කරමින් දෙවිට ප්‍රශංසාද කළා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “ඔහු සුපුරුදු පරිදි දණ ගසා දෙවිට ප්‍රශංසා කරමින් යාච්ඤා කළේය. ඔහු දවසට තුන් වතාවක්ම එසේ කිරීමට පුරුදු වී සිටියේය.” (දානියෙල් 6:10) යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට දානියෙල්ට ඕනෑ තරම් හේතු තිබුණු නිසා ඔහු නිරතුරුවම යාච්ඤා කරමින් දෙවිට ප්‍රශංසා කළා. යාච්ඤා කිරීම යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ ඉතා වැදගත් අංගයක් බව ඔහු දැන සිටියා. ඔහුගේ ජීවිතය අවදානම් තත්වයක තිබුණත් යාච්ඤා කිරීම ඔහු කිසිවිටකත් නතර නොකළේ ඒ නිසයි. ඔහු තුළ තිබූ එවැනි ආකල්ප නිසා යෙහෝවා දෙවි ඔහුට බොහෝ සෙයින් ප්‍රේම කළා.

ඇත්තෙන්ම යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න ලැබීම මොන තරම් වටිනා වරප්‍රසාදයක්ද! එමනිසා ඔබේ ජීවිතයේ එක දවසක්වත් යාච්ඤා නොකර ගත කරන්න එපා. ඔහු ඔබට පෙන්වා තිබෙන යහපත්කමට ඔහුට නිතරම ස්තුති කරන්න. එමෙන්ම ඔබේ දුක් කරදර හා ප්‍රශ්න ගැටලු ගැනත් යාච්ඤාවෙන් දෙවිට පවසන්න. ඔබේ යාච්ඤාවලට යෙහෝවා දෙවි පිළිතුරු දී තිබෙන ආකාරය සිහියට නඟමින් ඒ සඳහා ඔහුට ස්තුති කරන්නද අමතක කරන්න එපා. නිරතුරුවම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා නම් ඔහුගේ ප්‍රේමය පෞද්ගලිකව අද්දකින්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ බව දැන සිටීම “නොකඩවාම යාච්ඤා කරන්න” ඔබව පොලඹවන්නේ නැද්ද!—රෝම 12:12.

දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න

අපි හැමවිටම අපේම අවශ්‍යතාවන් ගැන පමණක් සිතනවා නම් අපිට කවදාවත් කාගෙවත් හොඳ මිතුරෙක් වෙන්න බැහැ. යෙහෝවා දෙවි සමඟ අපි ඇති කරගන්නා මිත්‍රත්වයටත් එය අදාළ වෙනවා. යෙහෝවා දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගැනීමට නම් අපි අපි ගැනම සිතනවා වෙනුවට යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට පියවර ගත යුතුයි. දානියෙල්ද ඒ දේ කළා.

නෙබුකද්නෙෂර් රජු දුටු සිහිනය හා එහි අර්ථය යෙහෝවා දෙවි දානියෙල්ට හෙළි කළ අවස්ථාවේ දානියෙල් පැවසුවේ මෙයයි. “දෙවියනි, ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා! මන්ද ප්‍රඥාවත් බලයත් ලබා දෙන්නේ ඔබයි.” ඉන්පසු එම සිහිනයේ අර්ථය නෙබුකද්නෙෂර් රජුට විස්තර කර දෙන අවස්ථාවෙත් යෙහෝවා දෙවි “රහස් හෙළි කිරීමට හැකියාව ඇති දෙවි කෙනෙක්” කියා පවසමින් ඔහු දෙවිව ප්‍රශංසාවට පත් කළා. එමෙන්ම ඊශ්‍රායෙල් ජාතිය කළ වැරදිවලට සමාව ඉල්ලමින් ඔහු දෙවිට යාච්ඤා කළ අවස්ථාවෙත් දෙවිගේ නාමය ගෞරවයට පත් වීම ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවා. ‘අනේ යෙහෝවා දෙවියනි, මේ සෙනඟත් මේ නුවරත් ඔබේ නාමය දරනවා.’—දානියෙල් 2:20, 28; 9:19.

දානියෙල් මෙන් යෙහෝවා දෙවිගේ නාමය ප්‍රශංසාවට පත් කිරීමට අපට බොහෝ අවස්ථාවන් තිබෙනවා. යාච්ඤා කරන විට දෙවිගේ “නාමය සැමදා ශුද්ධව” පවතිනවා දැකීමට අපට තිබෙන ආශාව ගැන සඳහන් කිරීමට අපට හැකියි. (මතෙව් 6:9, 10) එමෙන්ම යෙහෝවා දෙවිගේ නාමයට නින්දාවක් ඇති නොවන ලෙස කටයුතු කිරීමෙන් හා දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අන් අයට දැනුම් දීමෙන්ද දෙවිගේ නාමය ගෞරවය පත් කිරීමට අපට හැකියි.

ප්‍රේමය හා අන් අය කෙරෙහි සැලකිල්ල දැක්වීම එතරම් දකින්න නැති මේ කාලයේ යෙහෝවා දෙවි ඔහුට නමස්කාර කරන අය ගැන ඉතා සැලකිල්ලෙන් සිටිනවා කියා දැනගැනීමට ලැබීම මොන තරම් සහනයක්ද! ඒ නිසා අපි සියලුදෙනාටම මේ වදන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි. “යෙහෝවා දෙවි තම සෙනඟ ගැන සතුටු වන්නේය. ඔහු නිහතමානී අයව ගැලවීම නමැති වස්ත්‍රයෙන් සරසවන්නේය.”—ගීතාවලිය 149:4.

[පාදසටහන]

^ 18 ඡේ. බයිබලය අධ්‍යයනය කිරීමට හා එහි තිබෙන දේවල් හොඳින් තේරුම්ගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පොත් පත් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒවා ලබාගැනීමට ඔබ කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඒ බව දැනුම් දෙන්න.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දානියෙල්ව ශක්තිමත් කිරීමට දේවදූතයෙකු එවීමෙන් දානියෙල්ට තමා කොතරම් ප්‍රේම කරනවාද කියා යෙහෝවා දෙවි පෙන්නුවා

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

උනන්දුවෙන් ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කළ නිසාත් අත් නෑර යාච්ඤා කළ නිසාත් කදිම ගුණාංග වර්ධනය කරගෙන දෙවිගේ ආදරය ලබන්න දානියෙල්ට හැකි වුණා