Skip to content

පටුනට යන්න

සැබෑ දෙවිගේ සංවිධානය කුමක්ද?

සැබෑ දෙවිගේ සංවිධානය කුමක්ද?

සැබෑ දෙවිගේ සංවිධානය කුමක්ද?

යෙහෝවා දෙවිගේ සෑම නිර්මාණයක් තුළම මනා පිළිවෙළක් තිබෙනවා. උදාහරණයකට, දිලීරයක් ගැන සලකා බලමු. ඒ තුළ බෝයිං 777 මඟී ගුවන් යානයක තිබෙන කොටස්වලට සමාන කොටස් සංඛ්‍යාවක් තිබෙනවා. මනා පිළිවෙළක් ඇති එම කොටස් සියල්ලම පිහිටා ඇත්තේ මයික්‍රෝමීටර් * පහක් තරම් විෂ්කම්භයක් ඇති කුඩා වෘත්තයක් තුළයි. ගුවන් යානයකට වඩා වෙනස්ව දිලීරයකට තවත් සෛල නිපදවීමටත් හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ නිර්මාණ තුළ මොන තරම් පිළිවෙළක් හා සංවිධානාත්මක බවක් තිබෙනවාද!—1 කොරින්ති 14:33.

ස්වර්ගයේ සිටින දේවදූතයන් සංවිධානාත්මක ලෙස සේවය කරන ආකාරයෙන්ද දෙවිගේ නිර්මාණවල මොන තරම් පිළිවෙළක් තිබෙනවාද කියා පැහැදිලි වෙනවා. ඒ ගැන පුරාණයේ සිටි දානියෙල් තමා දර්ශනයකින් දුටු දේ මෙසේ විස්තර කළා. “දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය. ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.” (දානියෙල් 7:9, 10) බයිබලයේ පෙන්වා ඇති ආකාරයට යෙහෝවා දෙවි පොළොවේ සිටින තම සේවකයන්ට අවශ්‍ය උපකාර සැපයීමට ඔහුගේ දේවදූතයන්ව යොදාගන්නවා. (ගීතාවලිය 91:11) එපමණ දේවදූතයන් සංඛ්‍යාවක් දෙවිගේ අණට කීකරු වී ඒ කාර්යය ඉටු කිරීමට නම් ඔවුන් කොතරම් හොඳින් සංවිධානය වී සිටිය යුතුද!

සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අතිශ්‍රේෂ්ඨතම සංවිධායකයා වුණත් ඔහු අන් අයගේ හැඟීම් හොඳින් තේරුම්ගන්නවා. ඔහු ඉතා සැලකිලිමත් මෙන්ම ප්‍රීතියෙන් සිටින දෙවි කෙනෙක්. (1 තිමෝති 1:11; 1 පේතෘස් 5:7) ඒ බව තේරුම්ගැනීමට පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ටත් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ටත් ඔහු මඟ පෙන්වූ ආකාරය අපි දැන් සොයා බලමු.

මනා ලෙස සංවිධානය වී සිටි ඊශ්‍රායෙල් ජාතිය

යෙහෝවා දෙවි තම සෙනඟ ලෙස ඊශ්‍රායෙල්වරුන්ව තෝරාගෙන මෝසෙස් මාර්ගයෙන් ඔවුන්ව සංවිධානය කළා. ඊශ්‍රායෙල්වරුන් සීනයි පාළුකරයේ සිටි කාලය ගැන සිතා බලන්න. සෑම පවුලක්ම තමන් කැමති කැමති තැන කූඩාරම් ගසාගත්තා නම් ඉන් මහත් වියවුලක් ඇති වීමට ඉඩ තිබුණා. එමනිසා කූඩාරම් ගසාගත යුතු ස්ථාන සම්බන්ධයෙන් දෙවි සෑම ගෝත්‍රයකටම පැහැදිලි මඟ පෙන්වීම් ලබා දුන්නා. (ගණන් කතාව 2:1-34) සනීපාරක්ෂාව සම්බන්ධයෙනුත් දෙවි ඔවුන්ට මඟ පෙන්වීම් දුන්නා. උදාහරණයකට මලපහ කිරීමට වෙනම ස්ථානයක් වෙන් කළ යුතු බවත් ඒවා වළලා දැමිය යුතු බවත් දෙවි පැවසුවා.—ද්විතීය කතාව 23:12, 13.

පොරොන්දු දේශයට ඇතුල් වූ පසුව ඊශ්‍රායෙල්වරු මනා ලෙස සංවිධානය වූ ජාතියක්ව සිටියා. ඊශ්‍රායෙල් ජාතියව ගෝත්‍ර 12කට වෙන් කර තිබූ අතර ඔවුන්ට නියමිත භූමි ප්‍රදේශයක්ද ලබා දී තිබුණා. එමෙන්ම මෝසෙස් මාර්ගයෙන් දෙවි ඔවුන්ට නීති මාලාවක්ද සැපයුවා. නමස්කාරය, පවුල් ජීවිතය, අධ්‍යාපනය, ව්‍යාපාර කටයුතු, ආහාර පාන, ගොවිතැන්, සත්ව පාලනය ආදී නොයෙක් දේවල් පිළිබඳ නීති ඊට ඇතුළත් වුණා. * ඒ සියලුම නීති යෙහෝවා දෙවි ලබා දුන්නේ ඔවුන් ගැන ඉතා සැලකිලිමත් වූ නිසයි. ඒවා පිළිපැදීමෙන් ඔවුන්ට සන්තෝෂය අත් කරගත හැකි වුණා. දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැදීමෙන් සහ ඔහු ඇති කර තිබෙන සැලැස්මට එකඟව කටයුතු කිරීමෙන් ඊශ්‍රායෙල්වරුන්ට ඔහු ඉදිරියේ සුවිශේෂ ජාතියක් වීමට අවස්ථාව තිබුණා.—ගීතාවලිය 147:19, 20.

ඊශ්‍රායෙල්වරුන්ට නායකත්වය දුන් මෝසෙස් ඉතා දක්ෂ කෙනෙක් වුණත් ඔහුට තම කාර්යය සාර්ථකව කිරීමට හැකි වුණේ දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කළ නිසයි. උදාහරණයකට ඊශ්‍රායෙල්වරුන්ව පාළුකරය හරහා ගෙන යා යුතු මාර්ගය මෝසෙස් තීරණය කළේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට එකඟවයි. දිවා කාලයේදී වලා ටැඹක් මාර්ගයෙනුත් රාත්‍රියේදී ගිනි ජාලාවක් මාර්ගයෙනුත් දෙවි ඔවුන්ට යා යුතු මාර්ගය පෙන්නුවා. (නික්මයාම 13:21, 22) ඒ අනුව තම සෙනඟව රැකබලා ගැනීමට යෙහෝවා දෙවි විවිධ අයව පත් කළත් තම සෙනඟට නිවැරදි මඟ පෙන්වීම් ලබා දී ඔවුන්ව සංවිධානය කරන්නේ යෙහෝවා දෙවි බව පැහැදිලියි. පළමු සියවසේදීත් සිදු වුණේ එයමයි.

මුල් ක්‍රිස්තියානීන් මනා ලෙස සංවිධානය වී සිටියා

යේසුස්ගේ අනුගාමිකයන් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළ නිසා පළමු සියවසේදී ආසියාවේ සහ යුරෝපයේ ක්‍රිස්තියානි සභා බිහි වුණා. ඒ සභාවන් විවිධ ප්‍රදේශවල පිහිටා තිබුණත් ඒ සෑම සභාවකම වැඩකටයුතු දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව සිදු වන බවට යේසුස්ගේ නියෝජිතයන් වගබලා ගත්තා. උදාහරණයකට, ක්‍රීට් දූපතේ තිබූ සභාවට තීතස්ව යැවූ අවස්ථාවේදී ඒ සභාවේ ‘නිසි ලෙස සිදු නොවන දේවල් නිවැරදි කරන්න’ කියා යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් ඔහුට පැවසුවා. (තීතස් 1:5) එමෙන්ම කොරින්තියේ පිහිටි සභාවට ලියූ ලිපියේදී “මඟ පෙන්වීම් ලබා දීම සඳහා” සමහර පුරුෂයන්ව පත් කර තිබෙනවා කියාත් පාවුල් සඳහන් කළා. (1 කොරින්ති 12:28) ක්‍රිස්තියානි සභාව තුළ මනා පිළිවෙළක් හා සංවිධානාත්මක බවක් ඇති කළේ කවුද? එය කළේ යෙහෝවා දෙවියි. දෙවි සභාව තුළ ‘එකමුතුකමක්’ ඇති කළා කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.—1 කොරින්ති 12:24.

ක්‍රිස්තියානි සභාව රැකබලා ගැනීමට පත් කළ පුරුෂයන් සෙසු ක්‍රිස්තියානීන්ව අනිසි ලෙස පාලනය කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සෙසු ක්‍රිස්තියානීන් සමඟ ‘හවුලේ සේවය කරමින්’ ඔවුන්ට කදිම “ආදර්ශයක්” තැබුවා. (2 කොරින්ති 1:24; 1 පේතෘස් 5:2, 3) ඇත්තෙන්ම ක්‍රිස්තියානි ‘සභාවේ හිස’ හෙවත් නායකයා ලෙස කටයුතු කරන්නේ ස්වර්ගයේ සිටින යේසුස් ක්‍රිස්තුස් මිස කිසිම මිනිසෙක් නොවෙයි.—එෆීස 5:23.

කොරින්තියේ පිහිටි සභාව අනික් සභාවන්ට වඩා වෙනස්ව කටයුතු කිරීමට පටන්ගත් විට පාවුල් ඔවුන්ගෙන් මෙසේ ඇසුවා. “ඇත්තෙන්ම දෙවි තොරතුරු හෙළි කරන්නේ ඔබ මාර්ගයෙන්ද? එසේ නැත්නම් එම තොරතුරු ලැබුණේ ඔබට පමණක්ද?” (1 කොරින්ති 14:36) පාවුල් එසේ ඇසුවේ, ඔවුන් දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහරිමින් ස්වාධීනව කටයුතු කිරීම වැරදි බව පෙන්වා දීමටයි. යේසුස්ගේ නියෝජිතයන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම් අදාළ කරගත් විට පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවල විශාල වර්ධනයක් සිදු වුණා.—ක්‍රියා 16:4, 5.

වර්තමානයේ දෙවිගේ සෙනඟ සංවිධානය වී සිටින අයුරු

යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කිරීම සඳහා නිරතුරුවම ඔහුගේ සේවකයන්ව සංවිධානය කරන බව බයිබලයේ සඳහන් වෙනවා. අතීතයේ සිටි ඊශ්‍රායෙල්වරුන්වත් පළමු සියවසේ සිටි සැබෑ ක්‍රිස්තියානීන්වත් ඔහු එසේ සංවිධානය කළ බව අපි සලකා බැලුවා.

ඒ හා සමානව යෙහෝවා දෙවි අද දිනත් ඔහුගේ සේවකයන්ට නිසි මඟ පෙන්වීම් ලබා දී ඔවුන්ව සංවිධානය කර තිබෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ දෙවි ඔවුන්ට කොතරම් ප්‍රේම කරනවාද කියායි. යෙහෝවා දෙවි අද දින මිනිසුන් සම්බන්ධයෙන් තම කැමැත්ත ඉටු කරන්නේ ඔහුගේ සංවිධානය හරහායි. එම සංවිධානය හඳුනාගත හැක්කේ කෙසේද? ඒ සඳහා කරුණු කිහිපයක් සලකා බලන්න.

සැබෑ ක්‍රිස්තියානීන් විශේෂ කාර්යයක් කිරීමට සංවිධානය වී සිටිනවා. (මතෙව් 24:14; 1 තිමෝති 2:3, 4) රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පොළොව පුරාම ප්‍රචාරය කරන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට උපදෙස් දුන්නා. ඒ කාර්යය කිරීමට නම් දෙවිගේ සේවකයන් ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය වී සිටිය යුතුයි. එය තේරුම්ගැනීමට මෙසේ සිතන්න. පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට ආහාර ලබා දීම අපහසු කාර්යයක් නොවෙයි. ඒ වුණත් ලක්ෂ සංඛ්‍යාත ජනකායකට තනිවම ආහාර සැපයීම පහසු කාර්යයක් නොවෙයි. ඒ සඳහා යම් පිරිසක් සමඟ සංවිධානය වී එකමුතුව වැඩ කිරීමට සිදු වෙනවා. ඒ හා සමානව යේසුස්ගේ අණ ඉටු කිරීමට සැබෑ ක්‍රිස්තියානීන්ද ‘එක්සත්ව’ සංවිධානය වී සිටිනවා. (ශෙපනියා 3:9) එසේ ඔවුන් සංවිධානය වී නොසිටියා නම් විවිධ රටවල සිටින නොයෙක් මිනිසුන්ට විවිධ භාෂාවලින් ශුභාරංචිය අසන්න ලැබෙයිද?

සැබෑ ක්‍රිස්තියානීන් එකිනෙකාව දිරිගැන්වීමට හා උපකාර ලබා දීමට සංවිධානය වී සිටිනවා. පළපුරුදු කඳු තරණය කරන්නෙකුට තනිවම වුණත් කන්දක් තරණය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඔහුට අනතුරක් වුණොත් උපකාර කිරීමට කිසිවෙකුවත් ඔහු ළඟ නැහැ. ඒ අනුව බලන කල අන් අයගෙන් වෙන්ව කටයුතු කිරීම අනුවණ දෙයක්. (හිතෝපදේශ 18:1) යේසුස්ගේ අණට එකඟව ශුභාරංචිය පොළොව පුරා ප්‍රචාරය කිරීමට නම් සැබෑ ක්‍රිස්තියානීන් එකිනෙකාට උපකාර කළ යුතුයි. (මතෙව් 28:19, 20) උත්සාහය අත් නොහැර දිගටම ක්‍රිස්තියානීන් ලෙස තම කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය දිරිගැන්වීම්, පුහුණුව සහ උපදෙස් ක්‍රිස්තියානි රැස්වීම්වලින් ලැබෙනවා. එවැනි රැස්වීම් නොතිබුණා නම් මිනිසුන්ට යෙහෝවා දෙවි පිළිබඳව ඉගෙනගැනීමට අවස්ථාව ලැබෙයිද?—හෙබ්‍රෙව් 10:24, 25.

එක්සත්ව දෙවිට සේවය කිරීම සඳහා සැබෑ ක්‍රිස්තියානීන් සංවිධානය වී සිටිනවා. සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ ‘හඬට කීකරු වන’ නිසා ඔවුන් යේසුස්ගේ නායකත්වය යටතේ සිටින “එක රැළක්” බවට පත් වී තිබෙනවා. (යොහන් 10:16) ඔවුන් විවිධ කණ්ඩායම්වලට බෙදී නැහැ. ඔවුන්ගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර පරස්පර විරෝධී අදහස්ද නැහැ. ඔවුන් උගන්වන දේවල් අතර “එකඟතාවක්” තිබෙනවා. (1 කොරින්ති 1:10) යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබෙන්නේ එලෙස එක්සත්ව සිටින අයට පමණයි.—ගීතාවලිය 133:1, 3.

ඉහත සලකා බැලූ අකාරයට එක්සත්ව කටයුතු කරන සංවිධානය කුමක්ද? ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකමුතු සෙනඟක් ලෙස දෙවිගේ කැමැත්ත කරමින් සිටිනවා. ඔවුන් යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් පිළිපදින්න වෑයම් කරන නිසා මිලියන ගණන් මිනිසුන් ඒ සංවිධානය වෙත ඇදී එනවා. යෙහෝවා දෙවි දී තිබෙන මේ පොරොන්දුව ගැන සාක්ෂිකරුවන්ට ස්ථිර විශ්වාසයක් තිබෙනවා. “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි. ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.” (2 කොරින්ති 6:16) ඔබත් යෙහෝවා දෙවිගේ සංවිධානය හා එක් වී ඔහුට නමස්කාර කරනවා නම් එම ආශීර්වාදය ඔබටත් අද්දකින්න ලැබෙන බව නිසැකයි.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මයික්‍රෝමීටරයක් යනු මීටරයකින් මිලියනයකින් එකයි.

^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත Insight on the Scriptures 2වන වෙළුමේ 214-220 දක්වා පිටු බලන්න.

[13වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන් කූඩාරම් ගසාගෙන සිටියේ සංවිධානාත්මක ලෙසයි

[14, 15වන පිටුවල පින්තූර]

ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමට හොඳින් සංවිධානය වී සිටීම අත්‍යවශ්‍යයි

ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කිරීම

සහන සේවා

එක්රැස්වීම්

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම