Skip to content

පටුනට යන්න

වැරදි පෙලඹීම් පාලනය කරගන්න ඔබට පුළුවන්

වැරදි පෙලඹීම් පාලනය කරගන්න ඔබට පුළුවන්

“මම ඉන්ටනෙට් එකට ගියේ අසභ්‍ය පින්තූර බලන්න නෙමෙයි. එකපාරටම දැන්වීමක් මතු වුණා. එච්චර හිතන්නේ නැතුව ඒක ක්ලික් කළා.”—කෝඩි. *

“වැඩපොළේ ඉන්න ලස්සන ගෑනු ළමයෙක් මාත් එක්ක යාළු වෙන්න හදනවා කියලා මට දැනුණා. ටිකක් විනෝද වෙන්න හෝටලේකට යමු කියලා එයා මට කිව්වා. එයා මොකටද එන්නේ කියලා මට තේරුණා.”—ඩයිලන්.

සමහරු වැරදි පෙලඹීම්වලට කැමැත්තෙන් ඉඩ දුන්නත් ඒවා පරාජය කරන්න ලොකු සටනක් කරන අයත් ඉන්නවා. ඔබ වැරදි පෙලඹීම් සලකන්නේ කොහොමද?

පාලනය කරන්න බැරි හැම පෙලඹීමක්ම හානිකර නැහැ. උදාහරණයකට ආහාර පාලනය කරන කෙනෙක් කේක් කෑල්ලක් කෑවා කියලා එයාට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒත් අනාචාරයේ යෙදෙන්න ඇති වෙන පෙලඹීම පාලනය නොකළොත් වෙන්නේ ලොකු විනාශයක්. බයිබලයේ මෙහෙම අනතුරු අඟවනවා. “අනාචාරයේ යෙදෙන තැනැත්තා අඥානයෙකි. ඒ තැනැත්තා තමාගේම ජීවිතය නාස්ති කරගනියි.”හිතෝපදේශ 6:32, 33.

වැරදි පෙලඹීමක් ඇති වුණොත් මේ උපදෙසත් හිතට ගන්න. “දෙවි කැමති වන්නේ ඔබ ශුද්ධව සිටිනවාටය. එහෙයින් ඔබ වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි. සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි.” (1 තෙසලෝනික 4:3, 4) වැරදි පෙලඹීම්වලට එරෙහි වෙන්න උදව් වෙන පියවර 3ක් බලමු.

1වෙනි පියවර: බලන දේවල් ගැන පරෙස්සම් වෙන්න

කාමුක හැඟීම් ඇවිස්සෙන දර්ශන බැලුවොත් වැරදි කිරීමට තියෙන නැඹුරුවාව වැඩි වෙනවා. බලන දේයි ආශාවක් ඇති වීමයි අතර තියෙන සම්බන්ධය ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.’ ඒකේ බරපතළකම ගැන කාවද්දන්න යේසුස් ඊළඟට කියපු දේ බලන්න. “ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම් එය උගුලා අහකට විසි කරන්න.” (මතෙව් 5:28, 29) වැරදි පෙලඹීම්වලට හසු නොවී ඉන්න නම් අසභ්‍ය දර්ශන නොබලා ඉන්න අධිෂ්ඨානයක් ගන්න ඕන කියන එක ඒකෙන් පැහැදිලියි.

අසභ්‍ය දර්ශනයක් දැක්කොත් ඉක්මනින්ම ඉවත බලාගන්න

මෙහෙම හිතන්න. කෙනෙක් වෙල්ඩිං කරද්දී ඒකෙන් එන තියුණු ආලෝකය දැක්ක ගමන් ඇස් දෙක ආරක්ෂා කරගන්න ඕන හින්දා අපි ඇස් වහගන්නවා නැත්නම් අහක බලාගන්නවා. ඒ හා සමානව සඟරාවකින්, රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් අසභ්‍ය දර්ශනයක් දැක්කොත් නැත්නම් කෙනෙක් නිරුවත්ව හෝ අඩ නිරුවත්ව ඉන්නවා දැක්කොත් ඉක්මනින්ම ඉවත බලාගන්න. මනස දූෂ්‍ය වෙන්න ඉඩ දෙන්න එපා. කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා හිටපු ක්වාන් මෙහෙම කියනවා. “හිත ඇදිලා යන කෙනෙක්ව දැක්කම එයා දිහා දෙතුන් සැරයක් හැරිලා බලන්න මට හිතෙනවා. ඒ නිසා මම ඒ වෙලාවෙම අහක බලන්න ලොකු අධිෂ්ඨානයක් ගන්නවා. ඒ එක්කම ‘යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න, දැන්ම යාච්ඤා කරන්න’ කියලා මම හිතින් කියාගන්නවා. යාච්ඤා කළාට පස්සේ ඒ පෙලඹීම නැති වෙනවා.”මතෙව් 6:9, 13; 1 කොරින්ති 10:13.

දෙවියන්ට විශ්වාසවන්තව හිටපු යෝබ් මෙහෙම කිව්වා. “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි. එසේනම් මා වැරදි චේතනාවකින් තරුණියක දෙස බලන්නේ කෙසේද?” (යෝබ් 31:1) ඒ වගේ අධිෂ්ඨානයක් ගන්න ඔබටත් පුළුවන්.

මෙහෙම කරලා බලන්න: කාමුක හැඟීම් ඇවිස්සෙන දෙයක් යන්තමින් හරි දැක්කොත් අහක බලාගන්න. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න” කියලා යාච්ඤා කරපු බයිබල් ලේඛකයාව ආදර්ශයට ගන්න.ගීතාවලිය 119:37.

2වෙනි පියවර: හිතන දේ ගැන පරෙස්සම් වෙන්න

අපි හැමෝටම පාපය උරුම වෙලා තියෙන නිසා ඉඳලා හිටලා වැරදි හැඟීම් ඇති වෙන්න පුළුවන්. බයිබලයේ යාකොබ් 1:14, 15 කියන්නේ මෙහෙමයි. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.” ගොඩ එන්න ලේසි නැති ඒ වගේ උගුලකට හසු නොවී ඉන්න මොනවාද කරන්න පුළුවන්?

අනාචාර සිතුවිල්ලක් හිතට ආපු ගමන්ම යාච්ඤා කරන්න

වැරදි හැඟීමක් හිතට ආවම ඒක පාලනය කරගන්න ඔබට පුළුවන්. ඒ ආශාව පරාජය කරන්න. මනසින් වහාම ඉවත් කරන්න. අනාචාර සිතුවිල්ල ගැන හිත හිත ඉන්න එපා. අන්තර්ජාලයෙන් අසභ්‍ය දර්ශන බලන්න පුරුදු වෙලා හිටපු ට්‍රෝයි මෙහෙම කියනවා. “මම නරක සිතුවිලි අහක් කරගත්තේ හොඳ සිතුවිලිවලින් හිත පුරවගෙන. නරක සිතුවිලි නිතරම හිතට ආවත් දිගටම සටන් කරලා ඒවා පාලනය කරන්න මම ඉගෙනගත්තා.” යෞවන කාලෙදී අනාචාරයේ යෙදෙන්න ඇති වූ පෙලඹීම් එක්ක සටනක් කළ එල්සා මෙහෙම කියනවා. “මම හැම වෙලේම යම් වැඩක යෙදුණා. කොයි වෙලේත් යාච්ඤා කළා. නරක පෙලඹීම් පාලනය කරගන්න පුළුවන් වුණේ ඒ නිසයි.”

මෙහෙම කරලා බලන්න: අනාචාර සිතුවිල්ලක් හිතට ආපු ගමන්ම යාච්ඤා කරන්න. ඒ සිතුවිල්ල එනකොටම ඒක හිතෙන් අහක් කරගෙන ‘සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලින්’ සිත පුරවාගන්න.ෆිලිප්පි 4:8.

3වෙනි පියවර: යන එන තැන් ගැන පරෙස්සම් වෙන්න

වැරදි ආශාවයි, ඒ ආශාවට තුඩු දෙන ආකර්ෂණයයි, සුදුසු අවස්ථාවයි එකවිට උදා වුණාම ලේසියෙන්ම වරදට වැටෙන්න පුළුවන්. (හිතෝපදේශ 7:6-23) ඒ වගේ දේකින් මිදෙන්න මොනවද කරන්න ඕන?

“ගෙදර කවුරුත් නැති වෙලාවට මම අන්තර්ජාලය පාවිච්චි කළේ නැහැ”

“බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 22:3) ඒ නිසා යන එන තැන් ගැන පරෙස්සම් වෙන්න. වරදකට පෙලඹෙයි කියලා හිතෙන තැන් මඟහරින්න. (හිතෝපදේශ 7:25) අසභ්‍ය දර්ශන බැලීමට ඇබ්බැහි වෙලා හිටපු ෆිලිප් මෙහෙම කියනවා. “මම කොම්පියුටරය හැමෝටම පේන තැනක තිබ්බා. අන්තර්ජාලයෙන් එන අසභ්‍ය දේවල් වළක්වන සොෆ්ට්වෙයා එකක් (Internet filter) දාගත්තා. ගෙදර කවුරුත් නැති වෙලාවට මම අන්තර්ජාලය පාවිච්චි කළේ නැහැ.” කලින් සඳහන් කරපු ට්‍රෝයි කළෙත් ඒ වගේ දෙයක්. “කාමුක හැඟීම් ඇවිස්සෙන චිත්‍රපටි බලන එකත් ලිංගික කාරණා ගැන අසභ්‍ය විදිහට කතා කරන අයව ආශ්‍රය කරන එකත් නතර කළා. රෑ වැටුණු වළේ දවල් වැටෙන්න මං කැමති වුණේ නැහැ.”

මෙහෙම කරලා බලන්න: ඔබේ දුර්වලකම අවංකවම පිළිගන්න. ඔබව වරදට පෙලඹෙන්න පුළුවන් අවස්ථා ගැන කලින්ම හිතලා ඒවා මඟහරින්න.මතෙව් 6:13.

අත්හරින්න එපා

කොච්චර වෑයම් කළත් ආයෙත් වරදට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අධෛර්ය වෙලා උත්සාහය අත්හරින්න එපා. දේවවචනයේ මෙහෙම කියනවා. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.” (හිතෝපදේශ 24:16) අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන් ඉල්ලා සිටින්නේ ‘නැඟිටින්න’ කියලයි. ආදරෙන් කරන ඒ ආයාචනය ඔබ පිළිගන්නවාද? ආයෙත් වරදට වැටුණොත් යාච්ඤා කරන එක නතර කරන්න එපා. ඔබේ විශ්වාසය වැඩි කරගන්න දිගටම බයිබලය අධ්‍යයනය කරන්න. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙන්න. දෙවි පියාණන් මෙහෙම පොරොන්දු වෙනවා. “මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.”යෙසායා 41:10.

මුලින් සඳහන් කළ කෝඩි මෙහෙම කියනවා. “අසභ්‍ය පින්තූර බලන එක නතර කරන්න ගොඩක් මහන්සි වුණා. හුඟක් වෙලාවට පරණ පුරුද්දට වැටුණත් දෙවියන්ගේ උදව්වෙන් මං ඒ පුරුද්ද පරාජය කළා.” මුලින් සඳහන් කළ ඩයිලන් මෙහෙම කිව්වා. “වැඩපොළේ හිටපු ගෑනු ළමයත් එක්ක ලේසියෙන්ම අනාචාරයේ යෙදෙන්න පුළුවන්කම තිබුණත් මගේ අධිෂ්ඨානය අත්හැරියේ නෑ. මං එයාට කෙළින්ම කිව්වා මං ඕවාට කැමති නෑ කියලා. හොඳ හෘදය සාක්ෂියක් තියෙද්දී දැනෙන සතුට කියන්න බැරි තරම්. මට වැඩියෙන්ම සතුටක් දැනෙන්නේ මං ගැන යෙහෝවා දෙවියන් අඩම්බර වෙන නිසයි.”

ඉතිං ඔබත් අධිෂ්ඨානයක් අරගෙන කාමුක දර්ශන බලන්න තියෙන පෙලඹීම පරාජය කරන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් ඔබ ගැනත් ආඩම්බර වෙන බව නිසැකයි.හිතෝපදේශ 27:11.

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.