Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? - 2වෙනි කොටස

දෙවිගේ රාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? - 2වෙනි කොටස

පහත සඳහන් වෙන්නේ ජෝන් කියන පුද්ගලයා හා මයිකල් කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවා අතර දෙවෙනි වතාවට ඇති වුණු සංවාදයක්. මේ සංවාදය සිදු වෙන්නේ ජෝන්ගේ නිවසෙදියි.

නෙබුකද්නෙෂර් රජුගේ සිහිනය ගැන මතක් කිරීමක්

මයිකල්: කොහොමද ජෝන්, හැම සතියකම මං ඔයාගේ බයිබල් පාඩමට එන්නේ හරිම සන්තෝසෙන්. * කොහොමද ඉතින්?

ජෝන්: වරදක් නෑ හොඳින් ඉන්නවා.

මයිකල්: අපි ගිය සැරේ බැලුවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, දේවරාජ්‍යය පිහිටෙව්වේ 1914 කියලා කියන්නේ ඇයි කියලා. * ඔයාට මතකද දානියෙල් 4වෙනි පරිච්ඡේදයේ තියෙන ප්‍රධාන හේතුවක් ගැන අපි බැලුවා?

ජෝන්: නෙබුකද්නෙෂර් රජ හීනෙන් දැකපු ගහ ගැනනේ.

මයිකල්: ඔව්, නෙබුකද්නෙෂර් දැක්කා අහස උසට වැඩුණු ගහක්. කඳ කොටස ඉතුරු වෙන විදිහට ගහ කපලා දාන්න කියලා දෙවියන්ගේ දූතයෙක් කියනවා එයාට ඇහුණා. ‘කාලවල් හතකට’ පස්සේ ඒක ආයෙත් වැවෙනවා කියලත් අනාවැකියේ තිබුණා. * ඒ අනාවැකියට ඉටු වීම් දෙකක් තියෙනවා කියලත් අපි බැලුවා. ඔයාට මුල් එක මතකද?

ජෝන්: ඔව්, ඒක නෙබුකද්නෙෂර් රජුට සිද්ධ වෙච්ච දේ ගැනනේ. අවුරුදු 7ක් එයාගේ සිහි විකල් වුණා.

මයිකල්: හරි. ටික කාලෙකට ඔහුගේ සිහි විකල් වුණ හින්දා රජකමත් නැති වුණා. දෙවෙනි ඉටු වීමේදී දෙවියන්ගේ පාලනයත් ‘කාලවල් හතකට’ නතර වුණා. අපි බලපු විදිහට කාලවල් හත පටන්ගත්තේ ක්‍රිස්තු පූර්ව 607 යෙරුසලම විනාශ වුණ වෙලාවෙයි. එදා ඉඳන් දෙවියන්ව නියෝජනය කරන රජ කෙනෙක් පොළොවේ හිටියේ නැහැ. ඒත් කාලවල් හත ඉවර වුණාට පස්සේ දෙවියන් අලුත් රජ කෙනෙක්ව පත් කරයි. ඒත් මේ සැරේ දෙවියන් පත් කරන්නේ ස්වර්ගයේ ඉන්න කෙනෙක්ව. ඒ කියන්නේ කාලවල් හත ඉවර වුණාට පස්සේ දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙනවා. අපි බැලුවා කාලවල් හත පටන්ගත්තේ කවදාද කියලා. දැන් බලමු ඒ කාලවල් හත කොච්චර දිගද කියලා. එතකොට අපිට දැනගන්න පුළුවන් දේවරාජ්‍යයේ පාලනය පටන්ගත්තු කාලය. ඔයාට ඒ ටික පැහැදිලිද?

ජෝන්: පැහැදිලියි. ඔයා ඒ විස්තරේ ආයෙත් මතක් කරපු එක හොඳයි.

මයිකල්: දැන් අපි බලමු කාලවල් හත කොච්චර දිගද කියලා. මම ඒ තොරතුරු මතක් කරගන්න ආයෙත් ටිකක් බැලුවා. ඔයාට ඒක පැහැදිලි කරලා දෙන්නම්.

ජෝන්: හොඳයි.

කාලවල් හතේ අවසානය අන්තිම දවස්වල ආරම්භය

මයිකල්: දානියෙල් පොතේ තියෙන අනාවැකියේ නෙබුකද්නෙෂර් සම්බන්ධයෙන් ඉටු වුණ මුල් ඉටු වීමේදී කාලවල් හත සමාන වුණේ අවුරුදු 7කට. ඒත් දේවරාජ්‍යය සම්බන්ධ ඉටු වීමේදී කාලවල් හත අවුරුදු 7කට වඩා දිග කාලයක් වෙන්න ඕනේ.

ජෝන්: ඇයි එහෙම කියන්නේ?

මයිකල්: කාලවල් හත පටන්ගත්තේ ක්‍රි.පූ. 607 යෙරුසලමේ විනාශයත් එක්කයි. අපි එදා ඉඳන් අවුරුදු 7ක් ගණන් කළොත් ඒක වැටෙන්නේ ක්‍රි.පූ. 600ටයි. ඒත් ඒ කාලේ දේවරාජ්‍යය සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉටු වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි යේසුස් මේ පොළොවට ආවේ යෙරුසලම විනාශ වෙලා අවුරුදු සිය ගාණකට පස්සේ. ඒ වෙද්දිත් කාලවල් හත ඉවර වෙලා තිබුණේ නැහැ කියලා යේසුස් කිව්වා.

ජෝන්: ආ ඔව්, දැනුයි මට ඒක මතක් වුණේ.

මයිකල්: එහෙමනම් කාලවල් හත ඊට වඩා දිග කාලයක් වෙන්න ඕනේ.

ජෝන්: ඒක කොච්චර දිග කාලයක්ද?

මයිකල්: දානියෙල් පොතේ තියෙන අනාවැකියි එළිදරව් පොතේ තියෙන අනාවැකියි අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා දානියෙල් පොතේ කියන කාලවල් හත කොච්චර දිග කාලයක්ද කියලා අපිට එළිදරව් පොතෙන් දැනගන්න පුළුවන්. එළිදරව් පොතේ කියනවා කාලවල් 3 1⁄2ක් දවස් 1,260ක් කියලා. * එහෙමනම් කාලවල් හතක් කියන්නේ ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ දවස් 2,520ක්. ඒක පැහැදිලිද?

ජෝන්: ඔව්. ඒත් මට තාම පැහැදිලි නැහැ දේවරාජ්‍යය 1914 පටන්ගත්තා කියලා කියන්නේ ඇයි කියලා.

මයිකල්: අපි බලපු තොරතුරුවල සම්බන්ධය ගැන ටිකක් බලමු. බයිබලයේ තියෙන සමහර අනාවැකිවල එක දවසක් එක අවුරුද්දකට සමාන කරලා තියෙනවා. * අපි බලපු විදිහට දවසක් කියන්නේ අවුරුද්දක් නම් කාලවල් හතක් කියන්නේ අවුරුදු 2,520කට. ක්‍රි.පූ. 607 ඉඳලා අවුරුදු 2,520ක් ගැන්නහම ඒක වැටෙන්නේ 1914ට. * කාලවල් හත අවසන් වුණේ 1914 කියලා අපි කියන්නේ ඒ නිසයි. දේවරාජ්‍යයේ රජ හැටියට යේසුස් පාලනය කරන්න පටන්ගත්තේ ඒ අවුරුද්දෙයි. අන්තිම දවස්වල සිද්ධ වෙනවා කියලා බයිබලයේ කියලා තිබුණ අනාවැකි 1914දී ඉටු වුණා.

ජෝන්: මොන වගේ සිදුවීම්ද?

මයිකල්: ස්වර්ගයේ යේසුස්ගේ පාලනය ආරම්භ කළාම සිද්ධ වෙන දේ ගැන යේසුස් මතෙව් 24:7 මෙහෙම කියලා තියෙනවා. “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.” යේසුස් කිව්වා ඒ කාලේදී ආහාර හිඟකම් හා භූමිකම්පා ඇති වෙනවා කියලා. ඒවා මේ කාලේ වැඩි වැඩියෙන් දකින්න තියෙනවා කියලා ඔයා හිතන්නේ නැද්ද?

ජෝන්: ඔව්, ඒක නම් ඇත්ත.

මයිකල්: ඒ විතරක් නෙමෙයි යුද්ධ ඇති වෙනවා කියලත් යේසුස් කිව්වා. ඒ යුද්ධ එක රටකට විතරක් සීමා වෙන්නේ නැහැ. අන්තිම කාලෙදී මුළු ලෝකෙටම බලපාන යුද්ධ ඇති වෙනවා කියලා එළිදරව් පොතෙත් කියනවා. * ඔයාට මතකද 1වෙනි ලෝක මහා යුද්ධය ඇති වුණේ කවදද කියලා?

ජෝන්: 1914නේ. ඔයා කියන්නේ යේසුස් ස්වර්ගයේ පාලනය පටන්ගත්තේ ඒ කාලේ කියලා නේද? ඒ දෙක අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා මං කවදාවත් හිතුවේ නැහැ.

මයිකල්: කාලවල් හත ගැන තියෙන අනාවැකිත් අන්තිම කාලේ ගැන තියෙන අනාවැකිත් සලකලා බැලුවහම ඒක පැහැදිලියි. යේසුස් දේවරාජ්‍යයේ රජ හැටියට පාලනය කරන්න පටන්ගත්තෙත් අන්තිම දවස් අරම්භ වුණෙත් 1914 කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට කිසිම සැකයක් නැහැ. *

ජෝන්: ඒත් මට තාම සීයට සීයක් පැහැදිලි නැහැ.

මයිකල්: ඒකට කමක් නැහැ. මං කලින් කිව්වා වගේ මටත් ඒ අනාවැකි හරියටම තේරුම්ගන්න කාලයක් ගියා. ඒත් මං හිතනවා ඔයාට මේ ටික පැහැදිලි වුණා කියලා. බයිබලයේ 1914 කියලා කෙළින්ම කියලා නැති වුණත් දේවරාජ්‍යය පිහිටෙව්වේ 1914 කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ බයිබලයේ තියෙන තොරතුරුවලට අනුවයි.

ජෝන්: ඔයා කියන හැම දෙයක්ම බයිබලයෙන්ම පෙන්නන එක ගැන මම අගේ කරනවා. ඒත් මං කල්පනා කරන්නේ ඇයි මේ වගේ දෙයක් බයිබලයේ කෙළින්ම කියලා නැත්තේ කියලා. යේසුස් දේවරාජ්‍යයේ රජ වෙන්නේ 1914 කියලා දෙවියන්ට කියන්න තිබුණානේ?

මයිකල්: ඒක හොඳ ප්‍රශ්නයක්. බයිබලයේ ගොඩක් දේවල් කෙළින්ම කියලා නැහැ තමයි. ඒත් බයිබලයේ තියෙන දේවල් හොයලා බලලා තේරුම්ගන්න විදිහට දෙවියන් ඒක ලිව්වේ ඇයි කියලා ඔයා දැන් හිතනවා ඇති. අපි ඊළඟ සැරේ ඒක ගැන කතා කරමු.

ජෝන්: හා හොඳයි.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවාද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවාද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.

^ 5 ඡේ. නොමිලේ පවත්වන බයිබල් පාඩම් මගින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් උගන්වනවා.

^ 24 ඡේ. “නෙබුකද්නෙෂර්ගේ සිහිනය” කියන වගුව බලන්න.

^ 30 ඡේ. ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 9වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.