Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | විද්‍යාව බයිබලයේ තැන අරන්ද?

විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?

විද්‍යාව ඔබට ප්‍රයෝජනවත්ද?

විද්‍යාව කියන්නේ “භෞතික විශ්වයේ ඇති දේවල ස්වභාවය ගැන නිරීක්ෂණ, පර්යේෂණ සහ තර්කණ ආදියෙන් ලබාගන්නා ක්‍රමවත් දැනුම” කියලා ශබ්දකෝෂයක කියලා තියෙනවා. මේ විදිහට පර්යේෂණ පවත්වන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. සමහර වෙලාවට කලකිරෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රතිඵල දැනගන්න සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් විද්‍යාඥයන්ට බලාගෙන ඉන්නත් වෙනවා. ඔවුන්ගේ මහන්සිය වතුරේ යන වෙලාවල් තිබුණත් හුඟක් වෙලාවට ඔවුන්ගේ වෑයම මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණ කීපයක් බලන්න.

යුරෝපයේ එක ආයතනයකින් වැඩි දියුණු කළ වතුර පෙරන ෆිල්ටරයක් ප්ලාස්ටික් විශේෂයකින් නිපදෙව්වා. ඒ නිසා අපිරිසිදු වතුර බීමෙන් ඇති වෙන ලෙඩ රෝග වළක්වගන්න පුළුවන් වෙලා තියෙනවා. හයිටිවල 2010දී සිද්ධ වුණ භූමිකම්පාව වගේ ස්වාභාවික විපත් සිද්ධ වුණ අවස්ථාවලදී මේවා පාවිච්චි කළා.

ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය, ඒ කියන්නේ GPS කියලා අවකාශයේ චන්ද්‍රිකා ජාලයක් සකස් කරලා තියෙනවා. මුලින්ම මේක සකස් කළේ යුධ අවශ්‍යතා සඳහායි. ඒත් දැන් රිය පදවන්නන්ට, ගුවන් නියමුවන්ට, නාවිකයන්ට වගේම කඳු තරණය කරන අයට ඔවුන්ගේ මඟ හොයාගන්න GPS උදව් වෙනවා. පහසුවෙන්ම තමන්ට යන්න ඕන තැනට යන්න මේ වගේ දෙයක් නිර්මාණය කරපු විද්‍යාඥයන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ.

ඔබ ෆෝන් එක, කොම්පියුටරය, ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනවාද? නවීන වෛද්‍ය ක්‍රම ඔබේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වෙලා තියෙනවාද? ඔබ ගුවන් යානයේ ගමන් කරලා තියෙනවාද? එහෙමනම් විද්‍යාව ඔබේ ජීවිතයට හුඟක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

නවීන විද්‍යාවටත් සීමාවන්!

විද්‍යාඥයන් තමන්ගේ දැනුම් සම්භාරය වැඩි කරගන්න අවට ලෝකයේ දේවල් ගැන ගැඹුරින් පර්යේෂණය කරනවා. උදාහරණෙකට, සමහර විද්‍යාඥයන් පරමාණුවක ක්‍රියාකාරිත්වය ගැන හදාරද්දී තවත් අය විශ්වයේ ආරම්භය තේරුම්ගන්න අවුරුදු බිලියන ගණන් ආපස්සට යනවා. විශ්වයේ ඇසට නොපෙනෙන දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කරද්දී සමහර විද්‍යාඥයන් හිතන්නේ බයිබලයේ සඳහන් දෙවියන් ඉන්නවාද නැද්ද කියන එකට සාක්ෂිත් හොයාගන්න පුළුවන් වෙයි කියලයි.

සමහර ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සහ දර්ශනවාදීන් ඉන් එහාටත් යනවා. ඔවුන් “දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට විරුද්ධව තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා” කියලා අමීර් ඩී. ආක්සෙල් සඳහන් කළා. ඉන් එක් කෙනෙක් ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. ඔහු මෙහෙම කිව්වා. “විශ්වය දිහා බැලුවාම දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට සාක්ෂි නැති නිසා දෙවියන් ඉන්න විදිහක් නැහැ.” තවත් අය කියන්නේ බයිබලයේ සඳහන් දෙවියන් කළා කියලා කියන දේවල් “මැජික් එකක්” නැත්නම් “ඇස් බැන්දුමක්” කියලයි. *

මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. අවට ලෝකය ගැන ස්ථිර නිගමනවලට එන්න පුළුවන් තරමටම විද්‍යාව දියුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැහැ නේද? විද්‍යාව අතිවිශාල දියුණුවක් ලබලා තිබුණත් හුඟක් විද්‍යාඥයන් පිළිගන්නවා දන්නේ නැති දේවල් සහ දැනගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා කියලා. නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයෙක් වන ස්ටීවන් වයින්බර්ග් කියන්නේ අවට ලෝකයේ තියෙන දේවල් ගැන “පරතරයටම දැනගන්න අපිට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ” කියලයි. මහා බ්‍රිතාන්‍යයේ තාරකා විද්‍යාඥයෙක් වන මහාචාර්ය මාටින් රීස් මෙහෙම කිව්වා. “මිනිසුන්ට කවදාවත් තේරුම්ගන්න බැරි දේවල් තියෙන්න පුළුවන්.” පුංචිම පුංචි සෛලයේ ඉඳලා අතිවිශාල විශ්වය දක්වා හැම දේම නවීන විද්‍යාවෙන් පැහැදිලි කරන්න බැහැ. මේ උදාහරණ සලකා බලන්න.

  • ජීවී සෛලයක ක්‍රියාකාරිත්වය ගැන මුළුමනින්ම තේරුම්ගන්න අමාරුයි. ඒ කියන්නේ සෛලයක් ශක්තිය දහනය කරන විදිහ, ප්‍රෝටීන නිපදවන විදිහ සහ සෛලයක් බෙදෙන විදිහ ගැන හරියටම විස්තර කරන්න බැහැ.

  • හැම මොහොතකම ගුරුත්වාකර්ෂණය අපිට බලපානවා. අපි උඩ පැන්නොත් බිම වැටෙනවා. බිමට අදින ඒ බලයත් පොළොව වටේට හඳ එකම ගමන් මාර්ගයක යන විදිහත් සම්පූර්ණයෙන් තේරුම්ගන්න භෞතික විද්‍යාඥයන්ට බැහැ. ඒක අභිරහසක්!

  • විශ්වය ගැන හදාරන විද්‍යාඥයන් කියන්නේ විශ්වයෙන් සියයට 95ක් විතර ප්‍රබල උපකරණවලින් හඳුනාගන්නත් බැරි, පේන්නෙත් නැති දේවලින් හැදිලා තියෙනවා කියලයි. ඔවුන් ඒවා අඳුරු ශක්තිය හා අඳුරු පදාර්ථ කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒවායේ ස්වභාවය ගැන තවමත් හොයාගෙන නැහැ.

විද්‍යාඥයන්ට අභිරහසක් වන තවත් දේවල් තියෙනවා. ඒ ගැන දැනගෙන ඉන්න එක වැදගත් ඇයි? විද්‍යාව ගැන ලියන ප්‍රසිද්ධ කෙනෙක් මෙහෙම කිව්වා. “අපි දන්න දේට වඩා නොදන්න දේ අතිවිශාලයි. මං හිතන විදිහට විද්‍යාව කියන්නේ එක මතයක එල්බගෙන ඉන්නේ නැතුව අපි අවට ලෝකයේ තියෙන දේවල් හදාරන එකටයි. ඒවා හදාරද්දී කොච්චර පුදුම දේවල් තියෙනවාද කියලා දැනගන්න පුළුවන්.”

බයිබලයේ හා දෙවියන් ගැන තියෙන විශ්වාසයේ තැන ගන්න විද්‍යාවට පුළුවන් කියලා ඔබ හිතනවා නම් මේ ගැන කල්පනා කරලා බලන්න. දක්ෂම විද්‍යාඥයන්ට වුණත් නවීන තාක්ෂණයෙන් බිහි කරලා තියෙන උපකරණවලින් අවට ලෝකය ගැන හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ අල්පමාත්‍රයයි. යම් දේවල් විද්‍යාවෙන් හොයාගන්න බැරි වුණ පළියට ඒවා නැහැ කියලා කියන එක සාධාරණද? විශ්වකෝෂයක, ඉතිහාසය සහ තාරකා විද්‍යාව ගැන තිබුණ ලිපියක අවසානයේ මේ අදහස තිබුණා. “තාරකා විද්‍යාව අවුරුදු 4,000ක් පමණ පැරණි වුණත් එදා හිටිය බැබිලෝනිවරුන් වගේම අපිත් විශ්වය ගැන දන්නේ කොච්චර ටිකද!”—Encyclopedia Britannica.

මේ ගැන තීරණය කරන්න අනිත් අයට තියෙන අයිතියට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගරු කරනවා. අපි උත්සාහ කරන්නේ ‘සාධාරණ ලෙස කටයුතු කරන බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි’ කියන බයිබල් ප්‍රතිපත්තිය අනුගමනය කරන්නයි. (ෆිලිප්පි 4:5) ඒ නිසා අපි ඔබට උනන්දු කරන්නේ බයිබලය විද්‍යාවට කොච්චර එකඟද කියලා හොයලා බලන්න කියලයි.

^ සමහරු බයිබලයේ තියෙන දේවල් ප්‍රතික්ෂේප කරන්නේ පල්ලිවල එදා උගන්වපු දේවල් සහ අද උගන්වන දේවල් නිසයි. ඒ කියන්නේ පොළොව පිහිටලා තියෙන්නේ විශ්වයේ හරි මැද, පොළොව පැය 24 දවස් හයකින් මැව්වා වගේ දේවල්.—“ බයිබලය සහ ඔප්පු කරලා තියෙන විද්‍යාත්මක කරුණු” කියන කොටුව බලන්න.